Monday, 21 November 2016

ණය ගෙවීම - 2: අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම

ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා කොයි ලෝකෙත් එහෙම තමයි. ගුවන් ගමනට විනාඩි 50යි. රත්මලානෙන් උඩට නැගලා ඉන්දියාව අස්සටම ගිහින් ආපහු හැරිලා කේ කේ එස් මුහුදු වෙරලින් ඇතුල් වෙලා තමයි පලාලි එයාර් පෝර්ට් එකට බාන්නෙ. ඉස්පිරිතාලේ එයාර් පෝර්ට් එකට ලඟින්ම තිබුනේ. 

පලාලි හමුදා රෝහල  ලාන්කීය ඉතිහාසයේ වැදගත් තැනක්. යාපනය අර්ධ ද්වීපයේ හිටපු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලීසියෙ සාමාජිකයින්ට තිබුනු එකම රෝහල. දස දහස් ගනන් තුවාල කරුවන්ට මෙතන ප්‍රතිකාර කරලා ඇති. දහස ගනන් ජීවිත මෙතන බේරලා ඇති. සිය ගනන් ජීවිත මෙතන මිය යන්න ඇති. මම මෙතන එක වර දැක ඇති මල සිරුරු ගණන තුන් සිය හැට ගණනක්. හමුදා සෙබලුන් සහ එල් ටී ටී ඊ දෙගොල්ලොගෙම. ඒ 2007 අගෝස්තු කිලාලි සටනෙදි. ඒ ගැන පසුව ලියමු. දැනට අපි 1997 අග භාගෙ.

 පලාලි රෝහල ඉතා කුඩා රෝහලක්. වෛද්‍යවරුන් තුන් හතර දෙනෙක් හෙද කාර්ය මන්ඩලය විසි පහක් තිහක් තමයි සියලු කාරණා වලට හිටියේ. දැන් කාලේ වගේ නෙවෙයි යුද්ධ කාලෙට දේශ ප්‍රේමියෝ හිඟයි. බොහොම අඩුවෙන් තමයි සෞඛ්‍යය සේවකයන් හමුදාවට බැඳුනෙ. තුවාල කාරයො වැඩි දවසට මිදුල පුරාම දානවා. ප්‍රතිකාර කරලා ඉවර අය අවශ්‍ය විදියට ගුවනින් කොලඹට එහෙම නැත්නම් පලාලි වලම තියාගන්නවා. සුලු තුවාල සනීප වෙනකන් තියා ගන්න කන්කසන්තුරේ වාට්ටුවකුත් බෝවන රෝගීන් දාන්න වාසවිලාන් වල වාට්ටුවකුත් තිබුනා. ලඟ තිබුනු කැම්ප් වල භට නිවාස ඉවත් කරලා ලෙඩ්ඩු දාපු අවස්ථාත් තිබුනා.

ලන්කාවෙ හිටපු දක්ෂම ශල්‍ය වෛද්‍ය වරු හැමෝම වගේ පලාලි රෝහලේ සේවය කරන්න ආවා. මහාචාර්ය මොහන් ද සිල්වා, මහාචාර්ය නීල් ෆොන්සේකා, වෛද්‍ය ලලන්ත අමරසින්හ, වෛද්‍ය මයිකල් අබේරත්න, වෛද්‍ය දුලිප් පෙරේරා, වෛද්‍ය බූරාන්, වෛද්‍ය රෝයි ගුනවර්දන, වෛද්‍ය රාසරත්නම්, මහාචාර්ය රනිල් ප්‍රනාන්දු ඒ වගේ මට මතක තියෙන මහත්වරු කීප දෙනෙක්. ඒ වගේම රජයේ සේවයෙන් අයින් වෙලා තමන්ගෙ මුලු කාලයම කැප කරපු වෛද්‍ය වරයෙක් තමයි වෛද්‍ය හිරාන් පෙරේරා. 

කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් විදියට මට පැවරිලා තිබුනු අමතර රාජකාරියක් තමයි සිවිල් වෛද්‍ය වරුන් නාගදීපේ එක්කන් යෑම. සතියක් ගානෙ නාගදීපේ වැද පුදා ගෙන සමන්ත භද්‍රගෙ ලෙවල් එකට ඔන්න මෙන්න ඇවිල්ලා හිටියෙ ඒ කාලෙ.

පලාලි පලමු ගමනෙදිම කැෂුවල්ටි (තුවාල කරුවන්) කන්දකට කර ගහන්න සිද්ධ වුනා. මාන්කුලමට මෙහායින් හිර වෙලා තිබුනු ජයසිකුරු මෙහෙයුම වෙනුවට කිලිනොච්චි දෙසින් ඒ 9 දිනා ගන්න හමුදාව උත්සාහ කලා. උත්සාහය අසාර්ථකයි. දින තුනක් ඇතුලත තුවාල කරුවන් දහසක් විතර අප වෙත ගෙනාවා. දින හතරක් එක දිගට ශල්‍යාගාරයේ ගත කරන්න සිදු වුනා.

මේ සටනෙදි ගෙනාපු එක රෝගියෙක් ගැන නොලියාම බැහැ. කනිෂ්ඨ වෛද්‍ය විදියට මූලික රෝගීන් වර්ග කිරීම සහ හදිසි ප්‍රතිකාර බාර වෙලා තිබුනෙ මට. අසාධ්‍ය රෝගීන් වහා ශල්‍ය වෛද්‍ය වරුන්ට යොමු කිරීමත්, ඔවුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දීමත් ඉතා ඉක්මනින් කලයුතුයි. ඒ අතරතුර ශල්‍ය කර්ම වලට සහය දීමට එක කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් යා යුතුයි. මේ රාජකාරි කරමින් ඉන්නා අතරේ රැගෙන ආ මල සිරුරු කීපයක් අතර එක් අයෙක් යන්තමින් පණ අදින බව සහයකයෙක් සැල කරා. කතාව ඇත්ත. වහා හදිසි ප්‍රතිකාර ලබාදුන්නා. බඩට වෙඩි වැදිලා බඩ වැල් එලියට ඇවිල්ල තිබුනේ. මෙවැනි රෝගියෙක් හොඳින් ප්‍රතිෂ්ඨාපනය කර මිස ශල්‍යා කර්මයකට ගැනීම අනිත් බේරා ගත හැකි රෝගීන්ට කරන අසාදාරණයක්. මේක යුධ වෛද්‍ය විද්‍යාවේ රීතියක්. නමුත් මොහුව අත හරින්න හිත් දුන්නෙ නැහැ. හැකි සෑම දේම කලා. අන්තිමේදි තීරණය කලා ශල්‍යා ගාරෙට ගෙනියන්න. ශල්‍ය වෛද්‍ය තුමා දුම්මල වරම ගත්තා. එලියෙ තව බර ගාණක් ලෙඩ්ඩු. ඒ වෙනවිට එදින තුල විතරක් ඉතා අසීරු ශල්‍ය කර්ම පහලොවක් විතර කරලා. බැගෑපත් වුනා බොහොම අමාරුවෙන් තමයි රෙසසිටේට් කරලා මේ තත්වෙට ගත්තෙ ඔපරේට් කරලා බලමු කියලා. නිර්වින්දන වෛද්‍ය රුවේයිස් හනිෆා (ඔහු අද කොලඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය වරයෙක්) සහයට ආවා.සර් අරන් බලමු. කොහොමින් හරි ඔපරේෂන් එක පටන් ගත්තා. අතරතුරේදි තුන් වතාවක් හෘද ස්පන්දනය නතර වුනා. තුන් වතාවෙම බලු බැනුම්. ඕකනේ මන් තමුසෙලාට කිව්වෙ. බලනවා තව කොච්චර එලියෙ වැඩ තියෙනවද කියලා. කොහොම හරි තුන් වතාවෙම ඉගෙන ගත්ත සෙල්ලම් ඔක්කොම දාලා පන ගැට ගහ ගත්ත. කොලඹට පටවන කොටත් අප්සෙට් එකක් තිබුනෙ නැහැ. කොයි එකටත් නමයි නොම්මරෙයි ලියාගත්ත මොකද උනේ කියලා බලන්න. මාස එක හමාරකට විතර පස්සෙ නිවාඩු ඇවිත් කොලඹ හොස්පිටල් එකට ගිහින් බලන කොට හරිම සන්තෝෂයි මිනිහ පන පිටින්. මල මිනී ගොඩෙන්නෙ ඇදලා ගත්තෙ. අවුරුදු විස්සකට පස්සෙ අදටත් කොහේ දැක්කත් ඇවිත් කතා කරනවා. එතකොට මටත් සන්තෝෂයි. මේ වගේ සිද්ධි බර ගාණක් මතකයේ තියෙනවා. පලවෙනි එක නිසා විශේෂයි.

මාතෘකාවෙ අසාධ්‍ය රෝගියා මෙයා නෙවෙයි. ඒ රෝගියා සහකාර වෛද්‍ය වරයෙක්. ඔහු හින්දා එලිපන්ට් පාස් ගිය පලවෙනි වෛද්‍ය වරයා වෙන්න සිද්ද වුනා. පලාලි ඉන්න අතරෙ හදිසියේම නියෝගයක් ආවා පැයකින් එලිපන්ට් පාස් යන්න ලෑස්ති වෙන්න කියලා. එච්චර කල් එලිපන්ට් පාස් වල හිටියේ සහකාර වෛද්‍ය වරුන්. එතන තමයි ලන්කාවෙ අමාරුම තැන. හුදකලා වෙච්ච කදවුරක්. කාන්තාර දේශගුණය. දවස ගානෙම ත්‍රස්ත ප්‍රහාර. කෑම හිඟය. නිවාඩු මාස ගාණකට සැරයක්. තියෙන්න ඕන ඔක්කොම කරදර එතන. සමහර සොල්දාදුවො වෙඩි තියාගත්තා මේ කඳවුරෙන් පැන ගන්න. මේ පීඩනය දරා ගන්න අමාරු වෙලා අවුරුදු දෙකක් විතර ට්‍රාන්සර් එකක් නැතුව හිටපු සහකාර වෛද්‍ය වරයා පපුවෙ අමාරුවක් කියලා චොපර් එකක් ගෙන්නලා. චොපර් එක ආපු සන්තෝසෙට ලෙඩේ අමතක වෙලා ඇම්බුලන්ස් එකෙන් පැනලා දුව ගෙන ගිහිල්ල චොපර් එකට පැනලා. පයිලට් බලනවා ලෙඩා කෝ කියලා. බලනකොට ලෙඩා තමයි දුවලා ගිහිල්ලා චොපර් එකට පැනලා තියෙන්නෙ. අන්තීමේදි විනය පරීක්ෂණයකටත් මුහුන දෙන්න වුනා. කොහොමින් හරි දම්සො පුතා නතර වුනේ එලිපන්ට් පාස් වල.

ණය ගෙවීම - 1 

Monday, 24 October 2016

මගේ (අපේ) 88/89

සරත් විමලසුරිය 88/89 ගැන ඔහුගේ අපූරු අත්දැකීම් එලි දැක්කීම ඒ අන්ධකාර කාලවකවානුවෙ සරත් වැනි සිය දහස් ගනන් අපූරු මිනිස්සු ආලෝකයක් වුනු හැටි අපට මතක් කරලා දෙනවා.

ලියාපදින්චි වෛද්‍යවරු රටේ ඈත පලාත් වල කරපු අතිමහත් සේවයට නිවැරදි ඇගයීමක් ලැබුනෙ නැහැ කියලයි මම හිතන්නෙ. මේ වෙලාවෙ අපිත් එක්ක ක්‍රීඩා කරපු අකාලයේ මියගිය තවත් අපූරු මිනිසෙක් වූ මාල්වි අය්යා මට මතක් වෙනවා. හමුදාවෙ ලියාපදින්චි වෛද්‍යවරුත් ඒ වගේම ඉතා විශාල සේවයක් කරපු කොටසක්. ඔවුන් තම සේවා කාලයම ගත කලේ ඝන කැලෑවල.

88/89 කාලෙ මම උසස් පෙල පාසැල් ශිෂ්‍යයෙක්. මේ කලබැගැනියෙ උනුසුම අපිට දැනෙන්න පටන් ගත්තෙ පාසැල් වල පෙලපාලි යන්න පටන් ගනිද්දි. අපේ පාසලේ ශිෂ්‍යයන් මුලින්ම පෙලපාලියකට සම්භන්ධ කරගන්න පිට ඉස්කෝලෙක ශිෂ්‍යයෙක් තාප්පෙන් ඉස්කෝලෙ ඇතුලට පැනපු වෙලාවෙ ඔහුත් එක්ක ගැටුමකට යන්නත් උනා. ඔහු අද ප්‍රාදේශීය සභාවක යු ඇන් පී මන්ත්‍රී වරයෙක්.

පෙලපාලි වැඩේ නැගලා ගියා. හැම සතියෙම මොකක් හරි සිද්ධියකට පෙලපාලි.  කව්ද ඒවා සන්විධානය කරන්න මූලික උනේ කියලා අදටත් දන්නෙ නැහැ. පන්ති වැඩ වලින් කට් එක දාන්නත් ආතල් එකක් ගන්නත් පුලුවන් අවස්ථාවක් විදියට තමයි සැලකුවෙ. පෙලපාලිය පටන් ගන්නෙ ලොකු හූවකින්. ලමයින්ව පන්ති වලින් එලියට ගන්න. පලවෙනි හූව ඇහෙන කොටම කොහොම හරි පන්ති වලින් එලියට පැනගෙන හූවට සෙට් වෙනවා. ගුරුවරු වැඩේ නවත්තන්න ට්‍රය් එකක් දීලා බැරි තැන අල්ලල දානවා. පොලිසිය ඉස්කෝලෙ වටලනවා. පොලිසියට ගල් ගහලා හූ කියලා කොහොම හරි පෙලපාලිය පාරට දාගන්නවා. අපිත් මෙලො සන්සාරේ දෙයක් දන්නෙ නැතුව කවුරු හරි අතට දීපු බෝඩ් උස්සන් ලවුඩ්ස්පීකර් එකෙන් කෑ ගහන එකාගෙ පදේට කෑ ගහනවා. දෙතුන් පාරක් කඳුලු ගෑස් පාරවලුත් කෑවා. කොල්ලො කීප දෙනෙක් අතුරුදහනුත් උනා. හැබැයි කිසි ලමයෙක් පෙලපාලි වලට සම්භන්ධ නොවී හිටියෙ නැහැ ජේ වී පී එකට බයට. ගෑනු ලමයි මරන්න දක්කනවා වගේ. ලමයින්ගෙ පෙලපාලියට පස්සෙන් අඬ අඬ එන අම්මලාගෙ පෙලපාලිය. පෙලපාලිය ඉවර වුනාම ගෙදර යන්න දුර ලමයින්ට බස් නැගැ. හැතැප්ම දහය පහලොව පයින් ආයිත් පෙලපාලියෙ. ඔය ගොන් වැඩේ මාස ගාණක්ම තිබුනා. කොහොම හරි ඒ ලෙවල් විභාගෙත් අගෝස්තුවේ තිබ්බෙ නැහැ. දෙසැම්බරේ තමයි විභාගෙ කලේ.

රාවය යුක්තිය එහෙම කියෙව්ව්ට පවන ඇහුවට මිනී මැරිල්ලට විරුද්ධත්වයක් හිතේ තිබුන නිසා බා ගන්න ඇප්‍රෝච් කරපු එවුන්ට අහු වුනේ නැහැ. යූ සී පිට්ටනියෙ කෑම්ප් එකක් දාපු නිසා ආමි එක කිට්ටුව හිටපු නිසා ගෙවල් කිට්ටුව කලබල ටිකක් අඩු වුනා. 

පෙලපාලි වලට පස්සෙ ඒ කාලෙ පලවෙනි මතකය තමයි බිල්ලෙක්ට මූන දීපු එක. පාඩන් කරන්න රෑට ජීවන්ලගෙ ගෙදර ඉඳන් උදේ පාන්දර මහේෂ් එක්ක සයිකලෙන් එනකොට හමුදාවෙන් නවත්තලා තවත් කොල්ලො විසි පහක තිහක පෝලිමකට දැම්මා. හැමෝම බිල්ලා ඉස්සරහින් යන්න ඕන. ඔලුව වැනුවොත් බඩු. එදා ඉඳන් පාඩම් කරන්න යාමටත් තිත.

තවත් පාරක් පොලීසියෙන් අල්ලන් ගියා පාර අයිනෙ ඉඳලා ෂර්ට් එකක් වත් නැතිව තවත් කොල්ලො කීප දෙනෙක් එක්ක. ට්‍රක් එකේ පිටිපස්සෙ දාගෙන පැය ගානක් රවුම් ගහලා ට්‍රක් එක පුරෝගෙන පොලීසියට එන කොට නෑදැ සනුහරේම පොලිසිය ලඟ. 

සැරින් සැරේ ඇඳිරි නීතිය. ඉගෙනීමක් නැතිම ගාණයි. නගරාධිපති වගේ හිටියෙ අන්ක එකේ ගන්ජා කරයෙක් වෙච්ච ප්‍රියලාල්. මාර්කට් එකෙ යතුර තිබුනෙ මිනිහ ගාව. ටික කාලෙකින් මිනිහා අතුරුදහන් උනා. තවත් බර ගාණක් මිනිස්සු මැරුනා. පොල්වත්තෙ මුලු පවුලක්ම මැරුවා. ගෙදර හිටපු බල්ලො පවා. ඕකන්දෙ එක පවුලෙ දෙන්නෙක් මරන්න ගියපු පොලිස් කණ්ඩායම රෑ එකොලහට විතර ලයිට් දාගෙන් ඉඳීමේ වරදට අපේ ගෙදරටත් ඇවිත් තුවක්කුව පපුවට තියලා පොඩි සෙල්ලමක් දාලයි ගියෙ. සරත් අය්යගෙ බාප්පා පොලිසියෙ මහත්තය මැරුවත් මතකයි. ඊට අමතරව ප්‍රේමසිරි බෙකරියෙ අය්යා, ආමි එකෙ ලෙෆ්ටිනන්ට් කෙනෙක් වෙච්ච අනුර කමල් ගුනසින්හ, පොලිසියෙ ලෙනොරා එහෙම. 

ගෙවල් පිටිපස්සෙ හිටිය ජයසිරි මෙන්ඩිස් පලා බබා උදේ පහට විතර මරන වෙඩි සද්දෙ අපිටත් ඇහුනා. ගෙදර හිටපු ඥාති පුතෙකුත් මරලා තිබුනා. උදේ එලිය වැටීගෙන එද්දී මමයි ලොකු අක්කයි ගියා සිද්දිය බලන්න. ගෙදර මිනිස්සු ටික අඬා වැලපෙනවා. වෙන කිසිකෙනෙක් නැහැ. බලනකොට අපි විතරයි ඇවිල්ලා තියෙන්නෙ. ගෙදරින් බලු බැනුම්.

ඊලඟ සිද්ධිය තමයි බැනට් අන්කල්ගෙ අත. බැනට් අන්කල් පරගහතොට සොමිරැස ප්‍රෙස් එකේ අයිතිකාරයා. පුතා දමිත් මගේ හොඳ යාලුවා. උදේ පාන්දර ආරන්චි උනා. දමිත්ගෙ තාත්තා උස්සලා කියලා. ගිහින් බලනකොට වැඩේ ඇත්ත. බයිසිකල් වල නැගලා දෙන්නත් එක්ක ගම වටේම පිච්චෙන එල්ලපු මිනී බල බල යනවා තාත්තා හොයන්න. ඔහොම යනකොට එලෙක්ට්‍රිසිටි බෝඩ් එක හන්දියේ උරහිසෙන් ගලවපු අතක් එල්ලලා තියෙනවා. සයිස් එක අන්කල්ගෙ ගානම. දමිත් ඇඟිලි බලලා කිව්වා නියපොතු අස්සෙ තීන්තත් තියෙනවා මේක නම් තාත්තගෙ තමයි කියලා. ගෙදරට එක පාරට කියන්නෙ නැතුව තව ටිකක් බලමු කියලා පොරොන්දු කරවගෙන ගෙදර එක්ක ගියාට අම්මා දැකපු ගමන් බදා ගෙන අඬන්න පටන් ගත්තෙ නැතැයි. පස්සෙ ආරන්චියක් ආවා හමුදාවෙන් අරන් ගිහින්  වලව් වත්තෙ කෑම්ප් එකෙ ඉන්නවා කියලා. අරන් යන්න ගේතුව තමයි ජේ වී පි  එකෙන් බය කරලා පෝස්ටර් අච්චු ගහගෙන. අල්ල ගත්ත එකෙක් කියලා සොමිරැස ප්‍රෙස් එකෙන් තමයි පෝස්ටර් ගැහුවෙ කියලා. අන්තෝ ජටා බහී ජටා. අවුරුදු ගාණක් ආයු වලඳලා මීට අවුරුදු දෙකකට උඩදි තමයි අන්කල් ඇත්තටම මැරුනේ.

අන්තිමට තත්වෙ දරුනු වේගෙන එනකොට අලුත්ගම පොලිසියෙ හිටපු මාමගෙ ක්වාර්ටස් එකේ ලඟින්න උනා මාස ගාණක්  තත්වෙ සමනය වෙනකන්. ඒ මූසල කාලකණ්ණි අවුරුදු දෙක තුන දහස් ගාණක් ලස්සන ජීවිත රටට අහිමි කලා. ආයෙ නම් එහෙම වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනය කරන්නෙ.

Sunday, 9 October 2016

මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීම

දොස්තරවරුන්ගේ පීපී ගැන මේ දිනවල ලියවෙන නිසා මගේ පීපී අත්දැකීමත් ලියන්න හිතුනා.

පීපී ගැන කියනවනම් සමාජගත වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මුදල් හොයන දොස්තරලා ඉන්නෙ මුලු දොස්තර සන්ඛ්‍යාවෙන් අතලොස්සයි. නීතිඥ, භෞත චිකිත්සක, රසායනාගාර ශිල්පි, එක්ස් රේ ශිල්පි, ඉන්ජිනේරු ආදී තවත් වෘත්තීන් රාශියක දොස්තරලා මෙන්ම රාජකාරි වෙලාවෙන් පසුව මුදල් උපයන කොටසක් හිටියත් ඒ අය ගැන වැඩි කතාබහක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ දොස්තර සන්ගමය වගේ නගරන් පෙන්නන්නෙ නැති නිසා වෙන්න ඇති. කාන්තා දොස්තරලගෙන් පීපී කරන්නෙ අතලොස්සයි.

ලන්කාවෙ පීපී වර්ග කිහිපයක් තියෙනවා. පලමු එක තමන්ගේම පීපී එකක් පවත්වා ගෙන යාම. මේ ජාතියෙ ඒවා තමයි වැඩිපුර තියෙන්නෙ. මේවාගෙ තනි අයිතිකාරයන් වගේම දෙන්නෙක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා කරන ඒවත් තියෙනවා. සැමියා සහ බිරිඳ එකතු වෙලා කරන ඒවත් බහුලව තියෙනවා. දෙවන වර්ගය තමයි ලෝකම්. ලෝකම් කියන්නේ අනුන්ගෙ තැන් වල වැඩ කිරීම. මේක සමහර විට වෙනත් කෙනෙකුගෙ පීපී එකක්. බොහෝ විට අලුත් අය තමයි මේ වගේ ලෝකම් කරන්නෙ. අනිත් ලෝකම් තමයි ප්‍රයිවෙට් හොස්පිටල් වල වැඩ කිරීම. දම්සො පුතා මේ සියලු ආකාරයේ පීපී කරලා තියෙනවා.

මුලින්ම කරේ අනුන්ගෙ තැන් වල ලෝකම් කරන එක. සොච්චම් මුදලක් ලැබුනා දවසෙ පෙට්‍රල් ගාන කවර් වෙන තරම්. ඊට පස්සෙ සෑහෙන කාලයක් හොස්පිටල් එකක ලෝකම් කලා. ඉමර්ජන්සි එකේ රෑ වැඩ. තනිකඩ කාලේ. වාසි කීපයක් තිබුනා. එකක් අමතර මුදලක් හම්බ වෙන එක. දෙක රෑට කෑම ලැබීම. තුන් වෙනි වාසිය තමයි වැදගත්ම. සියලු ආකාරයේ විශේෂඥ වෛද්‍යවරු යටතේ වැඩ කරන්න ලැබෙන නිසා දැනුම අලුත් වීම. ඈත පලාත් වලින් ලෙඩ්ඩු ගේන්න යන්නත් උනා.

අන්තිමේදි ගෙදරම එකක් අටවගෙන අවුරුදු කීපයක් කලා. හවස හයේ ඉදන් අට වෙනකම්. සෙනසුරාදාට වහනවා. ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ටිකයි. නමුත් හිතට හොඳයි. සෑහෙන ආදායමකුත් ලැබුනා. ලෙඩ්ඩු අඩුවීමට හේතුව වැඩි කල එලියක් නැතිවීමත් නර්ස් කෙනෙක් නැතිව දොස්තරම බෙහෙත් දීමත් වෙන්න පුලුවන්. පෞද්ගලික අත්දැකීම අනුව සල්ලි කාරයොයි දුප්පත් අයයි ඒ වගෙ තැන් වලට එනවා අඩුයි. මධ්‍යම පන්තියේ රජයේ සේවකයො තමයි වැඩිය ආවෙ. වැඩි මුදලක් ගන්නෙ නැති එකත් හේතුවක්. ගාන සැර නම් තමයි හිතට සනීප. ටෙස්ට් කිරීම අඩු වීම, බෙහෙත් අනවශ්‍යයි කියල හිතුන විට බෙහෙත් නැතිව හරවා යැවීම අනිත් කාරණා. 

කොහොම උනත් ටික කාලෙකින් අතින් කාලා හරක් බැලිල්ල නතර කරලා ලැබෙන පඩියෙන් පුලුවන් විදියට ජීවත් වෙන්න තීරණය කලා. මග තොටේදී ආපහු වැඩේ පටන් ගන්න කියලා ඉල්ලීම් එනවා. වැඩ අඩු කාලෙක ආයිත් පටන් ගන්න කියලා තමයි හිතන් ඉන්නෙ.

පීපී කිරීමෙදි අනුගමනය කරපු දේවල් කීපෙකුත් තිබුනා. තෝරගත් පිරිසකට නොමිලේ බෙහෙත් දීම, බෙහෙත් නොකරපු කිසි කෙනෙකුට වෛද්‍ය සහතික නොදීම, ප්‍රෙෂර් බැලීමට සහ රෙපොර්ට් බැලීමට මුදල් අය නොකිරීම වගේ. අනිත් වැදගත්ම දේ තමයි ඇන්ටි බයොටික්ස් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ පාවිච්චියෙදි සැලකිලිමත්වීම. 

දොස්තරලා බහුතරයක් මේ තරම්ම බැනුම් ඇහිය යුතු අය කියලා මමනම් හිතන්නෙ නැහැ. සන්ගමයේ වැරදි ඇති. නමුත් දොස්තරලා බහුතරයක් කැපවීමෙන් විශාල සේවයක් කරන අය. තමන් එක්ක එකට ඉගෙන ගෙන අනිත් ක්ෂේත්‍ර වලට ගිය අය එක්ක සන්සන්දනය කරන කොට දොස්තරලා ලැබෙන පඩියට වඩා සෑහෙන සේවයක් කරනවා. 

දොස්තරලගෙ පීපී වලට දිගින් දිගටම බැන ගෙන බැනගෙන යනකොට හිතුනෙ රටේ ඉන්න බරපතල අපරාධකාරයන්ගෙ කුලකෙට තමයි මමත් අයිති වෙන්නෙ කියලා. හොරකම් නොකර දන්න සාස්තරෙන් කීයක් හරි හොයාගන්න එක මහ ලොකු වරදක්ද, දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. 

දේශපාලකයින් හා දොස්තරලා තෝරා ගැනීමෙදි ජනතාව අතින් වෙන වැරදි නිසා ඇතිවෙච්ච සන්ස්කෘතිය එක සමානයි කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුම කාර් එක තියෙන ලොකුම ගේ තියෙන හුඟාක් සල්ලි තියෙන කෙනා තමයි හොඳම කෙනා කියලා මේ තෝරගැනීම් දෙකේදිම. ඉතින් මේ දෙගොල්ලොත් ජනතාවගෙ තෝරා ගැනීම වෙන්න දිවා රෑ නොබලා වැඩ කරනවා. එහෙම කරද්දි වැරදි වෙන එක වලක්වන්න බැහැ. මේක විෂම චක්‍රයක්. ඉතින් වැරදි ජනතාවද මේ දෙගොල්ලොද, තුන් ගොල්ලොමද කියලා හිතන්න වෙනවා.

දොස්තරලා සුලු පිරිසක් කරන වැරදි වැඩ ගැන ඇති වෙන්න බ්ලොග් ලිය විලා තියෙන නිසා නැවත ලිවීමේ තේරුමක් නැහැ. එහෙම අය ප්‍රතික්ෂේප කිරීම තමයි වෙන්න ඕන. නමුත් එහෙම අය ලඟට තමයි වැඩිපුර සෙනඟ යන්නෙ. එතකොට කාගෙද වැරැද්ද. වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කිරීමක් නැති කම කියලයි හිතන්නෙ.

Thursday, 29 September 2016

කුකුලන් කෙටවීමෙන් ඔබ්බට



මම දේශපාලනය ගැන අන්ශුමාත්‍රයක්වත් දන්නෙ නැති පොරක්.කියවීමට තියෙන කම්මැලිකම නිසා ටීවී එකේ දේශපාලන සාකච්චා අහලා ඉගෙනගන්න ට්‍රයි එකක් දුන්නා. නමුත් ඒවා කුකුලන් කෙටවීමේ තරඟ කියලා තමයි තෙරුම් ගියේ. දේශපාලකයින් කුකුලන් බවට පත්වී මාධ්‍යකරුවන් කුකුලන් කොටවන්නන් බවට පත්වීම ජාතියේ අභාග්‍යයක්.

අන්ක එකේ කුකුලන් කොටවන්නියක් වන නෙල්කාට බබා හම්බ වීමේ හේතුවෙන් දෙරනේ අලුත් පාර්ලිමේන්තුව හරවත් දෙයක් කතා කරන්න පටන් ගැනීම අලුත් දෙයක් ඉගෙන ගන්න පොටක් පාදලා තියෙනවා. මේ සාකච්චාවෙ නොදන්න දේවල් ඉගෙන ගන්න  දන්න දේවල් ගැන අලුතින් හිතන්න යමක් තියෙනව කියලා තමයි හිතුවේ. දේශපාලනේ ගැන දන්න අය නොදන්නකමට කමා කරත්වා කියලා ඉල්ලා හිටින ගමන් නොදන්න දේවල් පෙන්නලා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ටියුඩර් වීරසින්හ මහත්තයා  වගේ අය කතිකාවතට එක් කිරීමම හොඳ ප්‍රවේශයයක්. එතුමා හතරවෙනි මූලධර්මයක් පිලිබඳව ඉදිරිපත් කරපු කාරනා අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. ඔහු කියන්නෙ මූලික ඥ්‍යායයන් තුනම ප්‍රතික්ශේප වන බවයි. මගේ ටිකිරි මොලයට  තේරුම් ගිය විදියට පුද්ගලිකත්වය මූලික උනු ලිබරල් වාදයත්, ජාතිකත්වය මූලික උනු ෆැසිස්ට්වාදයත්, පන්තිය මූලික උනු සමාජවාදයත් යල් පැන ගිය බවයි එතුමා කියන්නෙ. සන්ස්කෘතිය සහ මනුෂ්‍යත්වය පදනම් උනු අලුත් සන්කල්පයක් එතුමා යෝජනා කරනවා.

එතුමා තව ඉතාම වැදගත් දෙයක් කියනවා. ඒ තමයි චීනෙකුට බැහැ ඇමෙරුකානුවෙක් වෙන්න. ඉන්දියානුවෙකුට බැහැ ඉන්ග්ලිශ් වෙන්න. එතුමා මේ තර්කය ගොඩ නඟන්නේ සන්ස්කෘතිය මනුශ්‍යයත්වය පදනම් කරගෙන. මේ නිසාම තමයි රුවන් ජයතුන්ග කැනඩාවේ ඉදන්, රසික කවිඳු ඕස්ට්‍රලියාවේ ඉඳන් ලන්කාව ගැන බ්ලොග් ලියන්නෙ.  ඒ නිසාම තමයි දම්සො පුතා ත්‍රීවීල් කාරයො , ප්‍රයිවෙට් බස් කාරයෝ එක්ක හැප්පි හැප්පි ලන්කාවේ ඉන්න තීරණය කලේ. බ්ලොග් ලියන එකයි මහ පොලොවෙ ඉඳ ගෙන අපේ මිනිස්සුන් එක්ක ජීවත් වෙන එකයි දෙකක්. තරහ වෙන්න එපා මේක තමයි යථාර්තය.

ටියුඩර් මහත්තයා කියන ඊලඟ කාරනය තමයි පෝස්ට් හියුමන් කතාව. ඔහු කියන්නෙ බටහිර ලෝකෙ ජීවත් වෙන්නෙ සාමාන්‍යය තත්වයයෙන් එහා ගිය අසාමාන්‍යය මිනිස්සු කියලයි. භාගයක් රොබෝ. භාගයක් මිනිස්. මම කැමතියි ලන්කාවෙ මිනිස්සු එක්ක ජීවත් වෙන්න. ත්‍රීවීල් කාරයෝ අමනුස්සයන්ට වඩා හොඳයි. මේක කියන්නෙ ඒ රටවල් වල අවුරුදු තුනකට වැඩි කාලයක් ලබපු අත්දැකීම් එක්ක.

වසන්ත බන්ඩාර මහත්තය කියනවා දෙමල ජනතාවට ප්‍රශ්නයක් නැති බව. මහත්තයෝ ඕකම තමයි ප්‍රශ්නේ. ඊට එහා මේක තේරුම් කරන්න මට තේරෙන්නෙ නැහැ. ප්‍රශ්නයක් තියෙන බව තේරුම් කරන්නට යාමම ප්‍රශ්නයක් වූ සමාජයක අපි ජීවත් වෙන්නේ.

ඔහු කියන ඊලඟ කාරනය තමයි බුදු පිලිම හදන්නෙ දෙමල බෞද්ධයන්ට බව. අමූලික බොරු. බුදු පිලිම හැදුවේ හමුදා සාමාජිකයන්ට. දම්සො පුතාත් දකුනු සුඩානේ බුදු මැදුරක් හැදුවා. හමුදා සාමාජිකයන්ට. කවදා හරි ලන්කාවෙ හමුදාව එන දවසට ඒක කැඩුවා කියලා අපේ අසතුටක් නැහැ.



මනෝ ගනේෂන් මහත්තයා ගැනත් යමක් කියන්න ඕනේ. එතුමා කියන දේ හරි හෝ වැරදි හරි. එතුමා සින්හලෙන් කතා කිරීමම වැදගත්. සින්හල උගතුන්ට දෙමල ජනතාවට ඇමතීමට නොහැකි වීම ප්‍රශ්නයක් කියලයි දම්සො පුතා හිතන්නෙ

Saturday, 24 September 2016

මහින්ද සර්ට එරෙහි මගේ නඩුව

Image result for mahinda deshapriya

මුලින්ම මහින්ද සර් වසරේ හොඳම රාජ්‍ය සේවකයා විදියට සම්මාන ලැබීම ගැන බොක්කෙන්ම සුභ පතනවා. මීට කලිනුත් එල් එම් ඩී එකේ සම්මානයට ඔබ තුමා පාත්‍ර උනා. ඒකටත් එක්කමයි සුභ පැතීම. 

"සර්" කියලා කිව්වෙ මැකෝ නිසා නොවෙයි. එතුමා මගේ ගුරුතුමෙක් නිසා. ගුරුතුමෙක් කිව්වට ඒක අද එතුමා රටේ ලෝකෙ වැදගත් කෙනෙක් නිසා ලකුනු දාගන්න කියන කතාවක්. දම්සො පුතා හයේ පන්තියේදි එතුමා උසස් පෙල පන්ති වලට ඉගැන්නුවා. ගුරුතුමෙක් නොවුනට එතුමා මගේ මාස්ටර් ඉන් චාර්ජ්. 

මහින්ද සර් මට හමු වෙච්ච සුවිශේෂී චරිතයක්. අද ඔහු ඒක ලෝකෙ ඉස්සරහ ඔප්පු කරලා ඉවරයි. ඔහු අතිශය සුන්දර මිනිසෙක්. මානව හිතවාදියෙක්. ඒත් ඔහු පරමා දර්ශී නැහැ. මම එහෙම කියන්නේ ඔහු වගේ වෙන්න අමාරුයි. එහෙම මිනිස්සු බිහි වෙන්නෙ කලාතුරකින්. ඔහු කොයිතර ඉහලට ගියත් අව්‍යාජත්වය ආරක්ෂා කලා. අනන්‍යතාවය ආරක්ෂා කලා. ගමේ කම ආරක්ෂා කලා. මෙතැනදියි ඔහු සුවිශේෂී වෙන්නෙ.

එහෙම මිනිසෙක් අගයන්නට තබන මේ සටහන ඔහුට එරෙහි නඩුවක් වෙන්නෙ කොහොමද කියලා අවසානෙට බලමු. මහින්ද සර් මට හමුවන්නේ අපේ ඉස්කෝලෙ මේස පන්දු ක්‍රීඩා භාර ආචාර්ය විදියට. ඔහුත් එක්ක එකම එක තරගාවලියකට යන්න මට අවස්ථාව ලැබුනා. ඒ දවස් වල මේස පන්දු තරඟ තිබ්බෙ කොලඹ රේස් කෝස් එකේ යට තට්ටුවෙ. අද එතන විශාල සාප්පු සන්කීර්ණයක්. මහින්ද සර් තමයි අපිව එක්ක ගෙන යන්නෙ. ඔහු තරඟාවලි ලේඛම් විදියටත් කටයුතු කලා. මයික්‍රෆෝන් නැතුව මහ සද්දෙට මුලු ශාලාවටම ඇහෙන්න තරඟ අඬ ගසන්න තරම් අද වගේම සද්දයක් ඒ කාලෙත් ඒ විදියටම තිබුන. කට දෙපැත්තෙන් කෙල පැනීමත් සමඟම.

අපේ මේස පන්දු ක්‍රීඩාව ගැනත් ලිවිය යුතුමයි. අපිට ගෘහස්ත ක්‍රීඩාගාර තිබුනේ නැහැ. පුහුණු වුනේ ප්‍රධාන ගොඩනැගිල්ලේ කොරිඩෝවෙ. පුහුනුකරුවො හිටියෙ නැහැ. දන්න දෙයක් කියලා දුන්නෙ වයසින් වැඩි අක්කලා අය්යලා. එයින් කෙනෙක් තමයි පසු කාලෙක අවුරුදු දහයක් විතර ජාතික ශූරිය වුනු නාමල් අක්කා එහෙම නැත්නම් නාමල් ගුනසේකර. නමුත් හැම අවුරුද්දෙම වගේ බාලක බාලිකා දෙකේම ජාතික ශූරයෝ.  අපි කණ්ඩායම් තේරීම් තරඟ තිබ්බෙ අඩුම ගානේ භාර ගුරුතුමා (වාදසින්හ සර්) වත් නැතිව. කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා මැච් ගහලා සෙල්ලම් කරන අනු පිලිවෙල සර්ට කියනවා. අද පාසැල් වල ක්‍රීඩා කටයුතු සිදු වෙන ආකාරය ගැන මතක් කරන්නයි මේ ටික ලියුවේ. ඒ කණ්ඩායමේ හිටපු වයි සී තිලකරත්න පසු කාලෙක ජාතික ශූරයා උනා. චිරත් ධනේෂ වෛද්‍යවරයෙක් වගේම ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක්. ගයාන් සහ නිරෝෂ වීරසේන සොහොයුරන් ඕස්ට්‍රේලියාවෙ සහ ඉන්දුනීෂියාවෙ ඉන්ජිනේරුවන්.

මහින්ද සර් ගැන මගේ දෙවනි මතකය ඔහුගේ කුටුම්භය පිලිබඳව. එතුමගෙ බිරිඳ රමනි ඇතුලත්මුදලි මිස් අපේ ඉස්කෝලෙම උද්භිද විද්‍යාව මිස්. නතර වෙලා හිටියේ අපේ පුන්චි අම්මගෙ ගෙදර. මහින්ද සර් හවසට හවසට බඩ ගානවා එහේ.  අන්තිමට මඟුල් ගෙදර තිබුනෙත් ඒ ගෙදරමයි. දම්සො පුතාටත් පැය ගාණක් කුකුල් මස් කපන්න උනා මඟුල් ගෙදර දවසේ. රමනි මිස් ගැනත් වචනයක් නොලියාම බැහැ. එතුමියටත් වෙනම සම්මානයක් දෙන්න තිබුනෙ දෙරනට. මෙතුමා එක්ක දීග කෑවට. ඒ තරමටම සමාජ සේවා කටයුතු සහ රාජකාරි කටයුතු වල ඔහු නියැලෙද්දි ඇය තමයි ඉන්ජිනේරු පුතෙක් සහ දොස්තර දියනියක්  ඉන්න පවුලෙ බර කර ගැහුවේ මන් දන්න තරමට. මහින්ද සර් තමන්ගෙ ගමට සහ පාසලට අතිශයින් ආදරය කරන කෙනෙක්. ඔහු තම ජීවිතයෙ වැඩි හරියක් කැප කරන්න ඇත්තෙ පාසල වෙනුවෙන්.

මේ අතර වාරෙ ඔහුත් එක්ක හැප්පිච්ච අවස්ථාත් සිහිපත් වෙනවා. දම්සො පුතාත් පැනි ගහ යට වලේ හොඳ කකුලක්. වලට සර් එක්ක කොකු තිබුනා සැරින් සැරේ. එකක් තමයි දොඩන්දූවෙ ප්‍රසාද් හේමචන්ද්‍ර යුද්දෙදි මැරිච්ච වෙලාව. ඔහු ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කෙනෙක් විදියට ඉන්දැද්දි මැරුනේ. වල එකතු වෙලා ආදි ශිෂ්‍ය සන්ගමයේ බැනර් එකක් දැම්මා. බැලින්නම් ප්‍රසාද් සන්ගමේ සාමාජිකත්වය අරගෙන නැහැ. සන්ගමෙන් කොක්ක. සර් සන්ගමේ ලොක්කෙක් නිසා පිට්ටනියට ආපු වෙලාවක වල ගේම ඉල්ලුවා. ඔයා චන්ද කොමසාරිස් නෙවෙයි පැටලිලි කොමසාරිස් කියලා ගේම ඉල්ලුවේ දම්සො පුතා නම් නෙවෙයි. (සහතික ඇත්ත ). තව වතාවක මහා ක්‍රිකට් තරඟේ ආදි ශිෂ්‍ය කූඩාරමේ කේස් එකකට ආයිත් පාරක් වල ගේමක් ඉල්ලුවා මතකයි. නමුත් එතුමා ඉතාම නිහතමානීව අදත් වල ඇසුරු කරනවා.

මෙලෝ රහක් නැති වල් පල් ලියුවෙ එතුමා බුහුමනට ලක් වෙච්ච සතුට පලකරන්න. කොයිතරම් ඉහල නිලධාරියෙක් උනත් ඔහුගේ අව්‍යාජ සරල කම අද්විතීයයි. එතුමට බිලියන් දෙකක් දුන්න කියලා කවුරු හරි ලිව්වම දුක හිතුනෙ ඒ නිසායි. ඒක ඇත්තද බොරුද කියලා දන්නෙ ලියපු කෙනයි එතුමයි විතරයි. දම්සො පුතා හිතුවේ දෙය්යනේ මේක නම් ඇත්තක් වෙන්න එපා කියලයි. ආදරණීය මහින්ද සර් ඔබ ලැබූ සියලු ගරු බුහුමන් වලටත් පාසලටත් ගමටත් ඔබ ලබා දුන් සියලු ගරු බුහුමන් වලටත් මගේ ශීර්ෂ ප්‍රණාමය!

දැන් ඔබට එරෙහි මගේ නඩුව. අපේ පාසැල අද තිබෙන තත්වය ගැන ඉතාමත් කණගාටුයි. ඒ කාලේ ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීමේ ශිෂ්‍යත්ව ලකුණු ප්‍රකාශයට පත් කලාම අපි හිටියෙ අඩියක් දෙකක් උඩින්. හැමදාම මිශ්‍ර පාසල් වල පලවෙනි ස්ථානය. දැන් සෑහෙන්න දුර පහලට බලාගෙන බලාගෙන ගිහින් වැඩේ අත ඇරලා දානවා. මේ එක උදාහරණයක් විතරයි. පාසැලේ ස්වර්ණමය යුගයන් ගැන ඔබ තුමා මට වඩා හොඳින් දන්නවා. විදුහලේ ඉතිහාසය ඔබ තුමා කට පාඩමින් කියාවි. අද පාසැලේ තත්වයත් ඔබ තුමා හොඳින් දන්නවා. දම්සො පුතා පාසැල් ගියෙත් එක් ස්වර්ණමය යුගයක. එකේ අවසාන කාලේ හිටපු විදුහල් පති තුමෙක් තමයි අද තත්වයට මුල් අඩිතාලම දැම්මෙ. එතුමා ඉතාමත් හොඳ මහත්මයෙක්, දක්ෂ ගුරුතුමෙක්, මහා ප්‍රාඥ්‍යයෙක්. නමුත් ඉතාමත් අදක්ෂ පරිපාලකයෙක්.  ඒ ගැන උදාහරණ ඉල්ලන ගානක් දෙන්නම්. මොකද දම්සො පුතාත් එතුමගෙ ශිෂ්‍ය නායක මන්ඩලයේ හිටපු කචල්ම කාරයෙක් නිසා. ඉතින් එතුමාව චිරාත් කාලයක් විදුහල්පති ධූරයේ තබා ගැනීම ඇතුලු ආදි ශිෂ්‍ය සන්ගමය වගකිවයුතු බොහෝ දේ අද තත්වයට හේතු උනා. මැති තුමනි මගේ නඩුවේ ඔබතුමාත් විත්ති කාරයෙක්. 

ඔබ තුමා මේ රටේ රාජ්‍ය සේවයට නව මානයක් එක් කලා. කීර්තිමත් පරිපාලකයකු ලෙස ඔබට ඇති දක්ෂතාවය ඔබ අපේ පාසැලට නිසි අයුරු ලබා දුන්නාද යන්න නඩු දිනයේදී මම ප්‍රශ්න කරනවා. මහින්ද සර්, අපිට කොහේ හෝ වැරදිලා. නැවතත් අපේ පාසැල සඳසේ සිරිලක සුදිලෙන තෙක් ඔබතුමා මගේ නඩුවේ විත්තිකාරයෙක්.

සැමකල් විද්‍යා දදාති විනයන් සඳ සේ සුදිලේවා!

ප.ලි - මේ සටහන හුදෙක් දම්සො පුතා සම්බන්ධ පාසැල සහ හිතවතෙක් පිලිබඳ තැබූ සටහනක් නිසා අදාල නැත්නම් සෙස්සෝ කමා කරත්වා

Monday, 19 September 2016

විඳින්නට සිතන්නට




http://varunamultimedia.com.au/videos/btv/vmtube/ridee-tharaka-music/sihinayaki-re_-18-09-16/play.html?1

මේ වැඩ සටහන නරඹන්නට මම ඔබට ආරාධනය කරමි. මේ දියනියට මම හිස නමා ආචාර කරමි. ඇය මට බොහෝ දේ සිහියට ගෙන එයි. 

ඕස්ට්‍රලියාවේ සිටින මගේ එක් ඥාති සහෝදරයෙක් ඔහුගේ පුතුන් දෙදෙනා හදා වඩා ඇත්තේ සින්හල වචනයක් හෝ ඔවුන් නොදන්නා ලෙසටය. එහි කිසිම වරදක් නැත. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින මගේ අනිත් ඥාති සොයුරිය නිමාලි අක්කාගේ උසස් පෙල පන්තියේ සිටින පුතුන්ට නිවෙසින් නික්ම යන කොට වඳින්නට උගැන්වීම සතුටු දනවන කාරණයකි.. අපේ ලමයින් ගෙදරදී ඉන්ග්‍රීසියෙන් කථා නොකිරීම ගැන මගේ බිරිඳගේ විශාල කනගාටුවක් තිබිණි. නමුත් අද මගේ දියනිය ගෙදරදී සින්හලෙන් කථා කරන අතර විදුහලේ ඉන්ග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වීම ගැන අප දෙදෙනාම සතුටු වන්නෙමු.

ප්‍රන්ශයේ ඉපදී ප්‍රන්ශයේ හැදුනු වැඩුනු ඇයගේ ගායනය අපට විදින්නට යමක් ලබා දෙයි. නාරද විජේසූරිය  අපිට අප ගැන අපේ රට ගැන සිතන්නට බොහෝ දේ ගෙන එයි.

Friday, 16 September 2016

කිල්ලෝටය පිරිසිදුද (කාගෙ කාගෙත්)

මේ දවස් වල නැගලා යන කේස් එක ගැන හිතට ආපු ගොන් කතා ටිකක් ලියන්න හිතුනා. ලන්කාවේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන අතිවිශිෂ්ඨ සේවය උන් කරන අනිකුත් ගොන් වැඩ නිසා වැහිලා යන එක ඉතාම අවාසනාවන්තයි. මේකට පාදක වෙච්ච ලමයි ඇතුලත් කිරීමේ මැටි මෝල් ක්‍රමවේදයෙන් අපෙ රටේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයත් කෙලෙසෙන එකත් අවාසනාවක්.

දොස්තර වරු තමන්ගේ ලමයින්ට හොඳ පාසැලක් ඉල්ලීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ. බලපුලුවන්කාරයන්, පන්දම් අල්ලන් සහ හොර ලියකියවිලි හදන්නන් ලමුන් ඇතුලත් කරන් ක්‍රමයක් රටේ නිර්මාණය වී තිබීම තුල දොස්තර වරුන්ද තමන්ගෙ ලමයින් හොඳ පාසැලකට ඇතුල් කිරීමට උත්සාහ කිරීම සාධාරණයි. දොස්තරලා ලමයින් දා ගැනීමේ වැරදි දකින බොහෝ අය තම ලමයා දා ගත් ආකාරයත් හෘද සාක්ෂියෙන් විමසුවොත් හොඳයි කියලයි හිතෙන්නෙ.

හොඳ පාසැලකට ලමයි ඇතුලත් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. එන්ගලන්තයේ දෙමව්පියන් ග්‍රැමර් ස්කූල් විභාගය සදහා ලමුන් දක්කා ගෙන යන අයුරු පසු ගිය දිනවල සියැසින් දැක්කා. අවුරුදු ගනන් ඒ සදහා ටියුෂන් යැවීම තියෙන්නේ ලන්කාවෙ විතරක් නොවෙයි. ඕනෑම දෙමව්පියෙක් තමන්ගෙ ලමයට හොඳම අධ්‍යාපනය දෙන්න උත්සාහ කිරීම හෙන ගහන අපරාධයකුත් නෙවෙයි.

නමුත් මේ ප්‍රශ්නය මුල් කරගෙන ස්ට්‍රයික් කිරීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක්. දොස්තරවරු තමන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගන්නේ මෙතැනදි.

දොස්තරවරුන් ස්ට්‍රයික් කිරීමට පෙර හදාගත යුතු වැරදි ගොන්නක් තියෙනවා. ඒ සදහා වෛද්‍ය සන්ගමය මැදි හත් වෙලා තියෙනවා කවදාවත් දැකලා නැහැ.

පලවෙනි දේ තමයි වෛද්‍යවරුන් වැඩි පිරිසක් කොලඹට කේන්ද්‍රගත වීම. ලන්කාවෙ සිටින මුලු වෛද්‍යවරුන්ගෙන් කොලඹ දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රතිශතය හරියටම කියන්න දන්නෙ නැති වුනාට එය 30% කට ආසන්න අගයක් වෙනවා කියල තමයි මම හිතන්නෙ. මේකට ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල කොලඹට ආසන්න ප්‍රදේශ වල අයත් එකතු කලාම අඩුම තරමින් 40% ඉක්මවනවා. එහෙම නියම අවශ්‍යතාවයක් තියෙනව නම් ගැටලුවක් නැහැ. නමුත් මෙයින් වෙලා තියෙන්නෙ වෛද්‍යවරු නිකම් ඉන්න ප්‍රමාණය වැඩිවීම. සිදුවිය යුත්තේ පිරිස වැඩි වුනාම රෝගී සත්කාර වල ගුනාත්මක භාවය වැඩි වීම වුනාට එහෙම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත්, සමහර රෝහල් වල පැය හයේ ෂිෆ්ට් එක දෙකට බෙදා ගෙන පැය තුන බැගින් වැඩ කරන්නේ. දෙදෙනාම පැය හයම වැඩ කලානම් රෝගියෙකු වෙනුවෙන් වැය කරන කාලය වැඩි කරන්න පුලුවන්.

කෙනෙකුට තර්ක කරන්න පුලුවන් වැඩ අඩු නිසා එක් කෙනෙක් හිටිය ඇති කියලා. නමුත් රජයේ සේවකයෙක් ලෙස එසේ කිරීම වරදක්. අනිත් එක තමයි වැඩ අඩුයි කියන්නේ දොස්තරලා දෙන්නෙක් එතැනට අවශ්‍ය නැහැ කියන එක. මේ තත්වයට වෛද්‍ය සන්ගමය වගේම සෞඛ්‍ය අමාත්‍යයන්ශයත් වග කිව යුතුයි. අත්සන් කිරීමට විරුද්ධ මේ හින්දා තමයි.

අනිත් කාරණය තමයි ඉවක් බවක් නැතිව තම දැනුම ගණිකා වෘත්තියේ යොදවමින් කරන පෞද්ගලික වෛද්‍ය ජාවාරම. ප්‍රසිද්ධියේ බෝඩ් ගහල තියෙනවා. උදේ 7 සිට 8 ටත්. හවස 4 සිට රෑ එකොලහ දොලහ වෙනකනුත් ඇරලා තියෙනවා කියලා. එතකොට මේ අය අටට වැඩට යන්නෙත් හතරට එන්නෙත් එර්දියෙන්ද කියන ප්‍රශ්නෙත් එනවා. මෙයින් තේරෙන්නෙ රජයේ නීති රීති තමන්ට අදාල නැහැ කියන උද්දච්ච කම ඇරෙන්න වෙන මොනවත් නෙවෙයි. මේ තැන් වලදි රෝගීන්ට සිද්ද කරන හිපොක්‍රටීස්වත් කෙලසන තුට්ටු දෙකෙ වැඩ ගැන දොස්තර කෙනෙක් විදියට ලියන්න ලැජ්ජ නිසා ඒ ගැන නොලියා ඉඳිමු. ඒ අතරම ඉතා සාධාරන විදියට අති මහත් සේවයක් තම පෞද්ගලික වෛද්‍ය ස්ථාන වලින් ඉටු කරන පිරිස අතිමහත්. නරුමයන් කිහිප දෙනෙක් පමනයි ඉන්නෙ. නමුත් මේ දේවල් නියාමනය කරන්න වෛද්‍ය සන්ගමය වත් අමාත්‍යන්ශයවත් ක්‍රියාශීලී නොවීම හරිම කණගාටුදායකයි.

අද වෛද්‍යවරුන්ට එල්ල වෙන විරෝධයට අසාධාරන ලමයි ඇතුලත් කිරීමේ ඉල්ලීම වගේම මේ කාරණා සියල්ලම බලපානවා කියලා තමයි හිතෙන්නෙ. ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ.


ලමයි ඇතුලත් කිරීමේ ප්‍රශ්නයට ගන්න පුලුවන් සාධනීයම පියවර ලෙස මම දකින්නේ ප්‍රාථමික පාසල් ද්විතීයික පාසල් වලින් වෙන් කිරීමයි. බොහෝ රටවල පාසල් පද්ධතිය සකස් වෙන්නේ මේ විදියට. මේකෙන් ආදි ශිෂ්‍ය මාෆියාවටත් උත්තරයක් හම්බ වෙනවා. මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.