Friday 23 December 2016

පුතා ආපහු යන්න












වැහි බීරුම ටික ටික අඩු වෙනවා. පොඩි කාලෙ ඉඳලා ලෝර්ඩ්ස් ගැන අහල තිබුනට මෙහෙම මැච් එකක් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැනෙ. තව පොඩ්ඩෙන් ඒ හීනෙ වැස්සට හේදෙනවා. 

දකුනු පැත්තෙ ස්ටෑන්ඩ් එකේ ලන්කාවෙ කට්ටිය පිරිලා. තමන්ගෙ උපන් රට ගැන තියෙන කැක්කුමනෙ. නැත්නම් සඳුදා දවසෙ වැස්සට මැච් එක හේදෙන බව දැන දැන ටෙස්ට් මැච් එකක් බලන්න කවුද එන්නෙ. මට නම් ඉතින් රට ජාතිය කොහොම උනත් මේකට එන්න ලැබෙන අන්තිම චාන්ස් එකනෙ. හොඳ තැනක් බලල වාඩි වෙන්න ඕනෙ. වැස්ස නැවතුනාට මැච් එක පටන් ගන්න පැයක්වත් යයි. ග්‍රවුන්ඩ්ස්මන්ලා බරටම වැඩ. පිට්ටනියෙ අයිනටම වෙන්න ටීම් දෙකම ප්‍රැක්ටිස්. කාලෙකින් ලන්කාවෙ කට්ටිය හැබැහින් දැක්කෙ. එන්ගලන්තෙ එවුන් නම් පලවෙනි පාරට.

"පුතා ලන්ඩන්මද ඉන්නෙ" අම්මට සිරි වයසක ලොක්කෙක්. මැච් එක පටන් ගන්නකම් කම්මැලි කමට කියාපු බුවා.
"නෑ අන්කල් බ්‍රිස්ටල් ඉඳන් ආවෙ. මීට කලින් ලෝර්ඩ්ස් ඇවිත් නැති නිසා ආවෙ"
"මමනම් පුතා ලන්කාවෙ ටීම් එක ගහපු හැම මැච් එකක්ම බලන්න ආවා. සිදත් එක සිය අනූව ගහපු දවසෙත් මම බැලුවා. ඒකෙ දුලිප්ගෙ ගැහිල්ල තමයි මරු. සුද්දොන්ට බඩ යන්න දුන්නෙ."
"මට මතකයි අන්කල්. එතකොට අපි පොඩියි."

"මෙහේ ඇවිත් හුඟාක් කල්ද?"
"නෑ අන්කල් ලඟදි ආවෙ. අපි අවුරුදු දෙකෙන් ආයි යන්න හිතන් ඉන්නෙ."
"ඇයි පුතා යන්නෙ. එහෙ දැන් ගන්න දෙයක් නැහැ. කවදාවත් හැදෙන පාටකුත් නැහැනෙ. මෙහෙ ඒවගෙද. ලමයින්ටත් හොඳටම හොඳයිනෙ."
"ඒවුනාට අන්කල් අපිට එහෙ වගෙ හරි යන්නෑ කොහේවත්. දුක් වින්දත් තමන්ගෙ තැනනේ කියල හිතෙනවා. අනික අම්මලා නෑදැයො එහෙමත් ඉන්නවනෙ."
"මමනම් කියන්නෙ මෝඩ වෙන්න එපා ලමයො. සැපට ඉන්න පුලුවන් එකෙ මොකටද දුක් විදින්නෙ. ගියායින් පස්සෙ අපරාදෙ කියලා හිතෙයි."

"දැන් බලන්න පුතා මම මෙහේ ආවෙ 1970. ඒ කාලෙ වීසා ඕනෙත් නැහැ. එයාර්පොර්ට් එකෙන් ඔන් අරයිවල් වීසා දුන්නා. කොමන්වෙල්ත් එකෙනේ. මම වැඩ කලේ මවුන්ට් ලැවීනියා සෙන්ට් තෝමස් එකෙ. මෙහෙත් අවුරුදු තිස් ගාණක්ම උගන්නලා තමයි පැන්ෂන් ගියේ. නෝනත් ටීචර්. අපි ඉතින් කොල්ලො දෙන්නට හොඳට ඉගැන්නුවා මෙහේ ආපු එකෙන්."
ඉතින් අන්කල් එහෙත් හොඳට ඉගෙන ගන්න බැරි නැහැනේ."
"ඒක නම් එහෙම තමයි. ඒත් මෙහෙ වගෙ නැහැනෙ."

මැච් එකත් පටන් ගත්තා. දිමුත් කරුනාරත්න මේකෙවත් කීයක්වත් ගැහුවොත් හොඳයි. හීනියට සින්හල සින්දුවකුත් පටන් අරන්. සුරන්ගනීට මාලු ගෙනවා. ලන්කාවෙ ජාතික ගීය වගේ තමයි. 

මැච් එක බලන අතර තුරේ අන්කල්ගෙ ජීවිත කතාව දිග ඇරෙනවා. සෑහෙන කාලෙකින් කතාවට කෙනෙක් අහුවෙලා තියෙන්නෙ මට හිතෙන්නෙ. එයාගෙ නෝනා සුනීතා එක්ක ලන්කාවෙන් ආපු හැටි. ලස්සන කොලු පැටව් දෙන්නා ටික ටික ලොකු වෙලා හොඳ රස්සාවල් වලට ගියපු හැටි. ලන්කාවෙ යාලුවො. නිව්සීලන්ඩ්වල ඉන්න අය්යා.
"ඉතින් පුතා. දැන් වගේ නෙවේ ඒ කාලේ හරි ශෝක්. දැන් මෙහෙත් එක එක ජාතියෙ උන් ඇවිත් හරි ප්‍රශ්න. හොඳ වෙලාවට බ්‍රෙක්සිට් එක ආවෙ."

ෂික් ආයිත් වැස්ස. කමක් නැහැ ලෝර්ඩ්ස් බලාගත්තනෙ. පැයක්වත් යයි ආයි පටන් ගන්න. එතකන් අන්කල්ගෙ කතාවෙ පිහිට තමා. "අන්කල් තව පයින්ට් එකක් අරන් එන්නද අන්කල්ටත් එක්ක. කොහොමත් පැයක් වත් යයි වගේ."

"පුතා මගේ පුතෙක්වගෙ දැනුන හින්දයි මේ කියන්නෙ. පුතාට කියන්න මමයි සුනීතයි දැන් ඉන්නෙ හරිම දුකෙන්. අපි දෙන්නට අපි දෙන්න විතරයි. පුතාලට වැඩ වැඩියි. එක් කෙනෙක් ඉන්නෙ ස්ටේට්ස්වල."

අන්කල්ගෙ මූන ලන්ඩන් අහස වගේම අඳුරුයි. මෙච්චරවෙලා හරිම සන්තෝසෙන් තමන්ගෙ ජීවිතෙ ජය ගත්ත හැටි කිව්ව මනුස්සයා එක පාරටම වෙනස් වෙලා.

"පුතාල බැදලද අන්කල්?"
"ලොක්කා බැන්දා. දෙවනියා බදින්නෙ නෑලු. ගෑනු ලමයි දෙන්නෙක් දෙපාරකට එක්ක ආවා. එයාගෙ පාට්නර් කියලා තමයි අපිට අදුන්නලා දුන්නෙ. පුතාට කියන්න මගේ ලොකු පුතා බැඳපු දවස තමයි මගෙයි නෝනගෙයි ජීවිතේ දුකම දවස."

එක දවසක් ලොකු පුතා මට කතා කරලා කිව්වා "Daddy I am getting married. I have posted an invitation for you. Be there with mummy please"කියලා.
ලෝකෙ කොහේ හිටියත් මගේ පුතාගෙ මගුල් ගෙදර ගැන ලොකු හීනයක් අපි දෙන්නටම තිබුනා. මොනවා කරන්නද. වෙඩින් එකට කලින් දවසෙ මොටෙල් එකක කාමරයක් බුක් කරලා අපි දෙන්නා ට්‍රේන් එකට නැග්ගා බර්මින්හැම් යන්න. සුනීතගෙ ඇස්වල කඳුලු. කෝච්චි ගමන පුරාවට මට පෙනුනෙ මගෙ පුතාගෙ වෙඩින් එක. 

මගුල් ගෙදරට කලින් දවසෙ අපේ දෙහිවල ගෙදර නෑදැයො පිරිලා. මම හෝටලේට ගිහින් අන්තිම වැඩ ටික මැනේජර් එක්ක කතා කරගෙන ආවෙ. පුතා මල්ලියි බෙස්ට්මනුයි තව යාලුවො කට්ටියයි එක්ක ඇඳුම් ලෑස්ති කරනවා. අය්යයි මස්සිනාල දෙන්නයි කාලෙකින් සෙට් උනේ. හීනියට අඩියක් පටන් ගත්තා. බයිට් එකට නෝනගෙ අක්ක ගාල්ලෙන් ගෙනාව මාලු ඇඹුල් තියලුයි පපඩනුයි. පරණ කාලෙ කතා ඔක්කොම එක එක දිග ඇරෙනවා. මස්සිනා ටිකක් එහාට මෙහාට වෙච්ච වෙලාවෙ අක්කගෙ කොල්ලට හිමීට ෂොට් එකක් දීගත්තා. තාත්තා ඉස්සරහ ඌ තාම බොන්නෙ නැහැනෙ.
කුස්සියෙ ගෑනුන්ගෙ කතාව හරි සැරටම. සුනීතා හරිම සන්තෝසෙන්. "අක්කට කියන්න අපේ පුතා අහු උනානෙ එක පාරක් නියම නැට්ටිච්චියෙකුට. මම හොඳවයින් දෙකක් ගෙදරට ගිහින් කතා කරලා තමයි මෙයාව ගලව ගත්තෙ ඒකෙන්. අපරාදේ කියන්න බැහැ කොල්ල කියන දේ ඇහුවා. මේ ගෑනු ලමයා නම් හම්බු උනේ අපේ වාසනාවට. හෙට බලා ගන්නකෝ. සීදෙවි ලමයා."

කෝච්චිය කොලපාට තණබිම ඉරාගෙන ඇදෙනවා. සුනීතා මට නොපෙනෙන්න හිමීට කඳුලු පිහිදානවා. අපි රෑ හෝටලේ නතර වෙලා උදේ වෙඩින් එකට ගිහින් කෙලින්ම කෝච්චියෙන් ගෙදර ආවා. ඔන්න ඔහොමයි පුතේ මගෙ ලොකු පුතාගෙ වෙඩින් එකෙ විස්තරේ.

"පස්සට හරි යයි" අන්කල්ගෙ හිත හැදෙන්න කිව්වට ඒක මෙතනට ගැලපෙන්නෙ නැහැ වගේ.

කුසල් මෙන්ඩිස්ගෙන් ජෝ රූට්ට හයේ එකක්. ලන්කාවෙ ඊලඟ අරවින්ද. පැය භාගයක් විතර මායි අන්කලුයි කතාවක් නැතිවම මැච් එක බැලුවා. කතා කර ගන්න බැරි තරමට දෙන්නගෙම හිත් බර වෙලා. 
ආයිත් වැස්ස. මේ පාර නම් කෝල්ඩ් ඕෆ් පාටයි. 

"අන්කල් අපි යමු නේද"
"හා පුතා. පුතා හම්බ වෙච්ච එක ලොකු දෙයක්. කාලෙකින් හිතේ හැටියට කතා කරා. නැත්නම් මගේ කතා අහල සුනීතටත් එපා වෙලා."

ටියුබ් ස්ටේෂන් එකට යනකනුත් අන්කල් මාත් එක්ක ඇවිදන් ආවා. සමු ගන්න වෙලාව.

"අන්කල් තාමත් මට කියන්නෙ මෙහේ නවතින්න කියලද"

"නැහැ පුතේ. පුතා ආපහු යන්න."

Thursday 8 December 2016

අසෝකද හරි මැල්කම්ද

මැල්කම් රන්ජිත් තුමාගෙ වැඩේ ගැන මට තියෙන පැහැදීම තමයි අපේ හාමුදුරු ගොල්ලො කරන විකාර එක්ක බැලුවම එතුමා ඉතාම සාධනීය හැසිරීමක් පෙන්නුම් කලා. දැන් අශෝක අලුත්ම මානයක් එක් කරනවා. අනේ මන්දා.

//මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.
මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි.
පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.
නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.
මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. ‘බැලුම්ගල හෙලිදරුවෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි’ කියා නෙත් ප්‍රවෘති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය
– අශෝක හඳගම//

Monday 21 November 2016

ණය ගෙවීම - 2: අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම

ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා කොයි ලෝකෙත් එහෙම තමයි. ගුවන් ගමනට විනාඩි 50යි. රත්මලානෙන් උඩට නැගලා ඉන්දියාව අස්සටම ගිහින් ආපහු හැරිලා කේ කේ එස් මුහුදු වෙරලින් ඇතුල් වෙලා තමයි පලාලි එයාර් පෝර්ට් එකට බාන්නෙ. ඉස්පිරිතාලේ එයාර් පෝර්ට් එකට ලඟින්ම තිබුනේ. 

පලාලි හමුදා රෝහල  ලාන්කීය ඉතිහාසයේ වැදගත් තැනක්. යාපනය අර්ධ ද්වීපයේ හිටපු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලීසියෙ සාමාජිකයින්ට තිබුනු එකම රෝහල. දස දහස් ගනන් තුවාල කරුවන්ට මෙතන ප්‍රතිකාර කරලා ඇති. දහස ගනන් ජීවිත මෙතන බේරලා ඇති. සිය ගනන් ජීවිත මෙතන මිය යන්න ඇති. මම මෙතන එක වර දැක ඇති මල සිරුරු ගණන තුන් සිය හැට ගණනක්. හමුදා සෙබලුන් සහ එල් ටී ටී ඊ දෙගොල්ලොගෙම. ඒ 2007 අගෝස්තු කිලාලි සටනෙදි. ඒ ගැන පසුව ලියමු. දැනට අපි 1997 අග භාගෙ.

 පලාලි රෝහල ඉතා කුඩා රෝහලක්. වෛද්‍යවරුන් තුන් හතර දෙනෙක් හෙද කාර්ය මන්ඩලය විසි පහක් තිහක් තමයි සියලු කාරණා වලට හිටියේ. දැන් කාලේ වගේ නෙවෙයි යුද්ධ කාලෙට දේශ ප්‍රේමියෝ හිඟයි. බොහොම අඩුවෙන් තමයි සෞඛ්‍යය සේවකයන් හමුදාවට බැඳුනෙ. තුවාල කාරයො වැඩි දවසට මිදුල පුරාම දානවා. ප්‍රතිකාර කරලා ඉවර අය අවශ්‍ය විදියට ගුවනින් කොලඹට එහෙම නැත්නම් පලාලි වලම තියාගන්නවා. සුලු තුවාල සනීප වෙනකන් තියා ගන්න කන්කසන්තුරේ වාට්ටුවකුත් බෝවන රෝගීන් දාන්න වාසවිලාන් වල වාට්ටුවකුත් තිබුනා. ලඟ තිබුනු කැම්ප් වල භට නිවාස ඉවත් කරලා ලෙඩ්ඩු දාපු අවස්ථාත් තිබුනා.

ලන්කාවෙ හිටපු දක්ෂම ශල්‍ය වෛද්‍ය වරු හැමෝම වගේ පලාලි රෝහලේ සේවය කරන්න ආවා. මහාචාර්ය මොහන් ද සිල්වා, මහාචාර්ය නීල් ෆොන්සේකා, වෛද්‍ය ලලන්ත අමරසින්හ, වෛද්‍ය මයිකල් අබේරත්න, වෛද්‍ය දුලිප් පෙරේරා, වෛද්‍ය බූරාන්, වෛද්‍ය රෝයි ගුනවර්දන, වෛද්‍ය රාසරත්නම්, මහාචාර්ය රනිල් ප්‍රනාන්දු ඒ වගේ මට මතක තියෙන මහත්වරු කීප දෙනෙක්. ඒ වගේම රජයේ සේවයෙන් අයින් වෙලා තමන්ගෙ මුලු කාලයම කැප කරපු වෛද්‍ය වරයෙක් තමයි වෛද්‍ය හිරාන් පෙරේරා. 

කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් විදියට මට පැවරිලා තිබුනු අමතර රාජකාරියක් තමයි සිවිල් වෛද්‍ය වරුන් නාගදීපේ එක්කන් යෑම. සතියක් ගානෙ නාගදීපේ වැද පුදා ගෙන සමන්ත භද්‍රගෙ ලෙවල් එකට ඔන්න මෙන්න ඇවිල්ලා හිටියෙ ඒ කාලෙ.

පලාලි පලමු ගමනෙදිම කැෂුවල්ටි (තුවාල කරුවන්) කන්දකට කර ගහන්න සිද්ධ වුනා. මාන්කුලමට මෙහායින් හිර වෙලා තිබුනු ජයසිකුරු මෙහෙයුම වෙනුවට කිලිනොච්චි දෙසින් ඒ 9 දිනා ගන්න හමුදාව උත්සාහ කලා. උත්සාහය අසාර්ථකයි. දින තුනක් ඇතුලත තුවාල කරුවන් දහසක් විතර අප වෙත ගෙනාවා. දින හතරක් එක දිගට ශල්‍යාගාරයේ ගත කරන්න සිදු වුනා.

මේ සටනෙදි ගෙනාපු එක රෝගියෙක් ගැන නොලියාම බැහැ. කනිෂ්ඨ වෛද්‍ය විදියට මූලික රෝගීන් වර්ග කිරීම සහ හදිසි ප්‍රතිකාර බාර වෙලා තිබුනෙ මට. අසාධ්‍ය රෝගීන් වහා ශල්‍ය වෛද්‍ය වරුන්ට යොමු කිරීමත්, ඔවුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දීමත් ඉතා ඉක්මනින් කලයුතුයි. ඒ අතරතුර ශල්‍ය කර්ම වලට සහය දීමට එක කනිෂ්ඨ වෛද්‍ය වරයෙක් යා යුතුයි. මේ රාජකාරි කරමින් ඉන්නා අතරේ රැගෙන ආ මල සිරුරු කීපයක් අතර එක් අයෙක් යන්තමින් පණ අදින බව සහයකයෙක් සැල කරා. කතාව ඇත්ත. වහා හදිසි ප්‍රතිකාර ලබාදුන්නා. බඩට වෙඩි වැදිලා බඩ වැල් එලියට ඇවිල්ල තිබුනේ. මෙවැනි රෝගියෙක් හොඳින් ප්‍රතිෂ්ඨාපනය කර මිස ශල්‍යා කර්මයකට ගැනීම අනිත් බේරා ගත හැකි රෝගීන්ට කරන අසාදාරණයක්. මේක යුධ වෛද්‍ය විද්‍යාවේ රීතියක්. නමුත් මොහුව අත හරින්න හිත් දුන්නෙ නැහැ. හැකි සෑම දේම කලා. අන්තිමේදි තීරණය කලා ශල්‍යා ගාරෙට ගෙනියන්න. ශල්‍ය වෛද්‍ය තුමා දුම්මල වරම ගත්තා. එලියෙ තව බර ගාණක් ලෙඩ්ඩු. ඒ වෙනවිට එදින තුල විතරක් ඉතා අසීරු ශල්‍ය කර්ම පහලොවක් විතර කරලා. බැගෑපත් වුනා බොහොම අමාරුවෙන් තමයි රෙසසිටේට් කරලා මේ තත්වෙට ගත්තෙ ඔපරේට් කරලා බලමු කියලා. නිර්වින්දන වෛද්‍ය රුවේයිස් හනිෆා (ඔහු අද කොලඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය වරයෙක්) සහයට ආවා.සර් අරන් බලමු. කොහොමින් හරි ඔපරේෂන් එක පටන් ගත්තා. අතරතුරේදි තුන් වතාවක් හෘද ස්පන්දනය නතර වුනා. තුන් වතාවෙම බලු බැනුම්. ඕකනේ මන් තමුසෙලාට කිව්වෙ. බලනවා තව කොච්චර එලියෙ වැඩ තියෙනවද කියලා. කොහොම හරි තුන් වතාවෙම ඉගෙන ගත්ත සෙල්ලම් ඔක්කොම දාලා පන ගැට ගහ ගත්ත. කොලඹට පටවන කොටත් අප්සෙට් එකක් තිබුනෙ නැහැ. කොයි එකටත් නමයි නොම්මරෙයි ලියාගත්ත මොකද උනේ කියලා බලන්න. මාස එක හමාරකට විතර පස්සෙ නිවාඩු ඇවිත් කොලඹ හොස්පිටල් එකට ගිහින් බලන කොට හරිම සන්තෝෂයි මිනිහ පන පිටින්. මල මිනී ගොඩෙන්නෙ ඇදලා ගත්තෙ. අවුරුදු විස්සකට පස්සෙ අදටත් කොහේ දැක්කත් ඇවිත් කතා කරනවා. එතකොට මටත් සන්තෝෂයි. මේ වගේ සිද්ධි බර ගාණක් මතකයේ තියෙනවා. පලවෙනි එක නිසා විශේෂයි.

මාතෘකාවෙ අසාධ්‍ය රෝගියා මෙයා නෙවෙයි. ඒ රෝගියා සහකාර වෛද්‍ය වරයෙක්. ඔහු හින්දා එලිපන්ට් පාස් ගිය පලවෙනි වෛද්‍ය වරයා වෙන්න සිද්ද වුනා. පලාලි ඉන්න අතරෙ හදිසියේම නියෝගයක් ආවා පැයකින් එලිපන්ට් පාස් යන්න ලෑස්ති වෙන්න කියලා. එච්චර කල් එලිපන්ට් පාස් වල හිටියේ සහකාර වෛද්‍ය වරුන්. එතන තමයි ලන්කාවෙ අමාරුම තැන. හුදකලා වෙච්ච කදවුරක්. කාන්තාර දේශගුණය. දවස ගානෙම ත්‍රස්ත ප්‍රහාර. කෑම හිඟය. නිවාඩු මාස ගාණකට සැරයක්. තියෙන්න ඕන ඔක්කොම කරදර එතන. සමහර සොල්දාදුවො වෙඩි තියාගත්තා මේ කඳවුරෙන් පැන ගන්න. මේ පීඩනය දරා ගන්න අමාරු වෙලා අවුරුදු දෙකක් විතර ට්‍රාන්සර් එකක් නැතුව හිටපු සහකාර වෛද්‍ය වරයා පපුවෙ අමාරුවක් කියලා චොපර් එකක් ගෙන්නලා. චොපර් එක ආපු සන්තෝසෙට ලෙඩේ අමතක වෙලා ඇම්බුලන්ස් එකෙන් පැනලා දුව ගෙන ගිහිල්ල චොපර් එකට පැනලා. පයිලට් බලනවා ලෙඩා කෝ කියලා. බලනකොට ලෙඩා තමයි දුවලා ගිහිල්ලා චොපර් එකට පැනලා තියෙන්නෙ. අන්තීමේදි විනය පරීක්ෂණයකටත් මුහුන දෙන්න වුනා. කොහොමින් හරි දම්සො පුතා නතර වුනේ එලිපන්ට් පාස් වල.

ණය ගෙවීම - 1 

Monday 24 October 2016

මගේ (අපේ) 88/89

සරත් විමලසුරිය 88/89 ගැන ඔහුගේ අපූරු අත්දැකීම් එලි දැක්කීම ඒ අන්ධකාර කාලවකවානුවෙ සරත් වැනි සිය දහස් ගනන් අපූරු මිනිස්සු ආලෝකයක් වුනු හැටි අපට මතක් කරලා දෙනවා.

ලියාපදින්චි වෛද්‍යවරු රටේ ඈත පලාත් වල කරපු අතිමහත් සේවයට නිවැරදි ඇගයීමක් ලැබුනෙ නැහැ කියලයි මම හිතන්නෙ. මේ වෙලාවෙ අපිත් එක්ක ක්‍රීඩා කරපු අකාලයේ මියගිය තවත් අපූරු මිනිසෙක් වූ මාල්වි අය්යා මට මතක් වෙනවා. හමුදාවෙ ලියාපදින්චි වෛද්‍යවරුත් ඒ වගේම ඉතා විශාල සේවයක් කරපු කොටසක්. ඔවුන් තම සේවා කාලයම ගත කලේ ඝන කැලෑවල.

88/89 කාලෙ මම උසස් පෙල පාසැල් ශිෂ්‍යයෙක්. මේ කලබැගැනියෙ උනුසුම අපිට දැනෙන්න පටන් ගත්තෙ පාසැල් වල පෙලපාලි යන්න පටන් ගනිද්දි. අපේ පාසලේ ශිෂ්‍යයන් මුලින්ම පෙලපාලියකට සම්භන්ධ කරගන්න පිට ඉස්කෝලෙක ශිෂ්‍යයෙක් තාප්පෙන් ඉස්කෝලෙ ඇතුලට පැනපු වෙලාවෙ ඔහුත් එක්ක ගැටුමකට යන්නත් උනා. ඔහු අද ප්‍රාදේශීය සභාවක යු ඇන් පී මන්ත්‍රී වරයෙක්.

පෙලපාලි වැඩේ නැගලා ගියා. හැම සතියෙම මොකක් හරි සිද්ධියකට පෙලපාලි.  කව්ද ඒවා සන්විධානය කරන්න මූලික උනේ කියලා අදටත් දන්නෙ නැහැ. පන්ති වැඩ වලින් කට් එක දාන්නත් ආතල් එකක් ගන්නත් පුලුවන් අවස්ථාවක් විදියට තමයි සැලකුවෙ. පෙලපාලිය පටන් ගන්නෙ ලොකු හූවකින්. ලමයින්ව පන්ති වලින් එලියට ගන්න. පලවෙනි හූව ඇහෙන කොටම කොහොම හරි පන්ති වලින් එලියට පැනගෙන හූවට සෙට් වෙනවා. ගුරුවරු වැඩේ නවත්තන්න ට්‍රය් එකක් දීලා බැරි තැන අල්ලල දානවා. පොලිසිය ඉස්කෝලෙ වටලනවා. පොලිසියට ගල් ගහලා හූ කියලා කොහොම හරි පෙලපාලිය පාරට දාගන්නවා. අපිත් මෙලො සන්සාරේ දෙයක් දන්නෙ නැතුව කවුරු හරි අතට දීපු බෝඩ් උස්සන් ලවුඩ්ස්පීකර් එකෙන් කෑ ගහන එකාගෙ පදේට කෑ ගහනවා. දෙතුන් පාරක් කඳුලු ගෑස් පාරවලුත් කෑවා. කොල්ලො කීප දෙනෙක් අතුරුදහනුත් උනා. හැබැයි කිසි ලමයෙක් පෙලපාලි වලට සම්භන්ධ නොවී හිටියෙ නැහැ ජේ වී පී එකට බයට. ගෑනු ලමයි මරන්න දක්කනවා වගේ. ලමයින්ගෙ පෙලපාලියට පස්සෙන් අඬ අඬ එන අම්මලාගෙ පෙලපාලිය. පෙලපාලිය ඉවර වුනාම ගෙදර යන්න දුර ලමයින්ට බස් නැගැ. හැතැප්ම දහය පහලොව පයින් ආයිත් පෙලපාලියෙ. ඔය ගොන් වැඩේ මාස ගාණක්ම තිබුනා. කොහොම හරි ඒ ලෙවල් විභාගෙත් අගෝස්තුවේ තිබ්බෙ නැහැ. දෙසැම්බරේ තමයි විභාගෙ කලේ.

රාවය යුක්තිය එහෙම කියෙව්ව්ට පවන ඇහුවට මිනී මැරිල්ලට විරුද්ධත්වයක් හිතේ තිබුන නිසා බා ගන්න ඇප්‍රෝච් කරපු එවුන්ට අහු වුනේ නැහැ. යූ සී පිට්ටනියෙ කෑම්ප් එකක් දාපු නිසා ආමි එක කිට්ටුව හිටපු නිසා ගෙවල් කිට්ටුව කලබල ටිකක් අඩු වුනා. 

පෙලපාලි වලට පස්සෙ ඒ කාලෙ පලවෙනි මතකය තමයි බිල්ලෙක්ට මූන දීපු එක. පාඩන් කරන්න රෑට ජීවන්ලගෙ ගෙදර ඉඳන් උදේ පාන්දර මහේෂ් එක්ක සයිකලෙන් එනකොට හමුදාවෙන් නවත්තලා තවත් කොල්ලො විසි පහක තිහක පෝලිමකට දැම්මා. හැමෝම බිල්ලා ඉස්සරහින් යන්න ඕන. ඔලුව වැනුවොත් බඩු. එදා ඉඳන් පාඩම් කරන්න යාමටත් තිත.

තවත් පාරක් පොලීසියෙන් අල්ලන් ගියා පාර අයිනෙ ඉඳලා ෂර්ට් එකක් වත් නැතිව තවත් කොල්ලො කීප දෙනෙක් එක්ක. ට්‍රක් එකේ පිටිපස්සෙ දාගෙන පැය ගානක් රවුම් ගහලා ට්‍රක් එක පුරෝගෙන පොලීසියට එන කොට නෑදැ සනුහරේම පොලිසිය ලඟ. 

සැරින් සැරේ ඇඳිරි නීතිය. ඉගෙනීමක් නැතිම ගාණයි. නගරාධිපති වගේ හිටියෙ අන්ක එකේ ගන්ජා කරයෙක් වෙච්ච ප්‍රියලාල්. මාර්කට් එකෙ යතුර තිබුනෙ මිනිහ ගාව. ටික කාලෙකින් මිනිහා අතුරුදහන් උනා. තවත් බර ගාණක් මිනිස්සු මැරුනා. පොල්වත්තෙ මුලු පවුලක්ම මැරුවා. ගෙදර හිටපු බල්ලො පවා. ඕකන්දෙ එක පවුලෙ දෙන්නෙක් මරන්න ගියපු පොලිස් කණ්ඩායම රෑ එකොලහට විතර ලයිට් දාගෙන් ඉඳීමේ වරදට අපේ ගෙදරටත් ඇවිත් තුවක්කුව පපුවට තියලා පොඩි සෙල්ලමක් දාලයි ගියෙ. සරත් අය්යගෙ බාප්පා පොලිසියෙ මහත්තය මැරුවත් මතකයි. ඊට අමතරව ප්‍රේමසිරි බෙකරියෙ අය්යා, ආමි එකෙ ලෙෆ්ටිනන්ට් කෙනෙක් වෙච්ච අනුර කමල් ගුනසින්හ, පොලිසියෙ ලෙනොරා එහෙම. 

ගෙවල් පිටිපස්සෙ හිටිය ජයසිරි මෙන්ඩිස් පලා බබා උදේ පහට විතර මරන වෙඩි සද්දෙ අපිටත් ඇහුනා. ගෙදර හිටපු ඥාති පුතෙකුත් මරලා තිබුනා. උදේ එලිය වැටීගෙන එද්දී මමයි ලොකු අක්කයි ගියා සිද්දිය බලන්න. ගෙදර මිනිස්සු ටික අඬා වැලපෙනවා. වෙන කිසිකෙනෙක් නැහැ. බලනකොට අපි විතරයි ඇවිල්ලා තියෙන්නෙ. ගෙදරින් බලු බැනුම්.

ඊලඟ සිද්ධිය තමයි බැනට් අන්කල්ගෙ අත. බැනට් අන්කල් පරගහතොට සොමිරැස ප්‍රෙස් එකේ අයිතිකාරයා. පුතා දමිත් මගේ හොඳ යාලුවා. උදේ පාන්දර ආරන්චි උනා. දමිත්ගෙ තාත්තා උස්සලා කියලා. ගිහින් බලනකොට වැඩේ ඇත්ත. බයිසිකල් වල නැගලා දෙන්නත් එක්ක ගම වටේම පිච්චෙන එල්ලපු මිනී බල බල යනවා තාත්තා හොයන්න. ඔහොම යනකොට එලෙක්ට්‍රිසිටි බෝඩ් එක හන්දියේ උරහිසෙන් ගලවපු අතක් එල්ලලා තියෙනවා. සයිස් එක අන්කල්ගෙ ගානම. දමිත් ඇඟිලි බලලා කිව්වා නියපොතු අස්සෙ තීන්තත් තියෙනවා මේක නම් තාත්තගෙ තමයි කියලා. ගෙදරට එක පාරට කියන්නෙ නැතුව තව ටිකක් බලමු කියලා පොරොන්දු කරවගෙන ගෙදර එක්ක ගියාට අම්මා දැකපු ගමන් බදා ගෙන අඬන්න පටන් ගත්තෙ නැතැයි. පස්සෙ ආරන්චියක් ආවා හමුදාවෙන් අරන් ගිහින්  වලව් වත්තෙ කෑම්ප් එකෙ ඉන්නවා කියලා. අරන් යන්න ගේතුව තමයි ජේ වී පි  එකෙන් බය කරලා පෝස්ටර් අච්චු ගහගෙන. අල්ල ගත්ත එකෙක් කියලා සොමිරැස ප්‍රෙස් එකෙන් තමයි පෝස්ටර් ගැහුවෙ කියලා. අන්තෝ ජටා බහී ජටා. අවුරුදු ගාණක් ආයු වලඳලා මීට අවුරුදු දෙකකට උඩදි තමයි අන්කල් ඇත්තටම මැරුනේ.

අන්තිමට තත්වෙ දරුනු වේගෙන එනකොට අලුත්ගම පොලිසියෙ හිටපු මාමගෙ ක්වාර්ටස් එකේ ලඟින්න උනා මාස ගාණක්  තත්වෙ සමනය වෙනකන්. ඒ මූසල කාලකණ්ණි අවුරුදු දෙක තුන දහස් ගාණක් ලස්සන ජීවිත රටට අහිමි කලා. ආයෙ නම් එහෙම වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනය කරන්නෙ.

Sunday 9 October 2016

මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීම

දොස්තරවරුන්ගේ පීපී ගැන මේ දිනවල ලියවෙන නිසා මගේ පීපී අත්දැකීමත් ලියන්න හිතුනා.

පීපී ගැන කියනවනම් සමාජගත වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මුදල් හොයන දොස්තරලා ඉන්නෙ මුලු දොස්තර සන්ඛ්‍යාවෙන් අතලොස්සයි. නීතිඥ, භෞත චිකිත්සක, රසායනාගාර ශිල්පි, එක්ස් රේ ශිල්පි, ඉන්ජිනේරු ආදී තවත් වෘත්තීන් රාශියක දොස්තරලා මෙන්ම රාජකාරි වෙලාවෙන් පසුව මුදල් උපයන කොටසක් හිටියත් ඒ අය ගැන වැඩි කතාබහක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ දොස්තර සන්ගමය වගේ නගරන් පෙන්නන්නෙ නැති නිසා වෙන්න ඇති. කාන්තා දොස්තරලගෙන් පීපී කරන්නෙ අතලොස්සයි.

ලන්කාවෙ පීපී වර්ග කිහිපයක් තියෙනවා. පලමු එක තමන්ගේම පීපී එකක් පවත්වා ගෙන යාම. මේ ජාතියෙ ඒවා තමයි වැඩිපුර තියෙන්නෙ. මේවාගෙ තනි අයිතිකාරයන් වගේම දෙන්නෙක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා කරන ඒවත් තියෙනවා. සැමියා සහ බිරිඳ එකතු වෙලා කරන ඒවත් බහුලව තියෙනවා. දෙවන වර්ගය තමයි ලෝකම්. ලෝකම් කියන්නේ අනුන්ගෙ තැන් වල වැඩ කිරීම. මේක සමහර විට වෙනත් කෙනෙකුගෙ පීපී එකක්. බොහෝ විට අලුත් අය තමයි මේ වගේ ලෝකම් කරන්නෙ. අනිත් ලෝකම් තමයි ප්‍රයිවෙට් හොස්පිටල් වල වැඩ කිරීම. දම්සො පුතා මේ සියලු ආකාරයේ පීපී කරලා තියෙනවා.

මුලින්ම කරේ අනුන්ගෙ තැන් වල ලෝකම් කරන එක. සොච්චම් මුදලක් ලැබුනා දවසෙ පෙට්‍රල් ගාන කවර් වෙන තරම්. ඊට පස්සෙ සෑහෙන කාලයක් හොස්පිටල් එකක ලෝකම් කලා. ඉමර්ජන්සි එකේ රෑ වැඩ. තනිකඩ කාලේ. වාසි කීපයක් තිබුනා. එකක් අමතර මුදලක් හම්බ වෙන එක. දෙක රෑට කෑම ලැබීම. තුන් වෙනි වාසිය තමයි වැදගත්ම. සියලු ආකාරයේ විශේෂඥ වෛද්‍යවරු යටතේ වැඩ කරන්න ලැබෙන නිසා දැනුම අලුත් වීම. ඈත පලාත් වලින් ලෙඩ්ඩු ගේන්න යන්නත් උනා.

අන්තිමේදි ගෙදරම එකක් අටවගෙන අවුරුදු කීපයක් කලා. හවස හයේ ඉදන් අට වෙනකම්. සෙනසුරාදාට වහනවා. ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ටිකයි. නමුත් හිතට හොඳයි. සෑහෙන ආදායමකුත් ලැබුනා. ලෙඩ්ඩු අඩුවීමට හේතුව වැඩි කල එලියක් නැතිවීමත් නර්ස් කෙනෙක් නැතිව දොස්තරම බෙහෙත් දීමත් වෙන්න පුලුවන්. පෞද්ගලික අත්දැකීම අනුව සල්ලි කාරයොයි දුප්පත් අයයි ඒ වගෙ තැන් වලට එනවා අඩුයි. මධ්‍යම පන්තියේ රජයේ සේවකයො තමයි වැඩිය ආවෙ. වැඩි මුදලක් ගන්නෙ නැති එකත් හේතුවක්. ගාන සැර නම් තමයි හිතට සනීප. ටෙස්ට් කිරීම අඩු වීම, බෙහෙත් අනවශ්‍යයි කියල හිතුන විට බෙහෙත් නැතිව හරවා යැවීම අනිත් කාරණා. 

කොහොම උනත් ටික කාලෙකින් අතින් කාලා හරක් බැලිල්ල නතර කරලා ලැබෙන පඩියෙන් පුලුවන් විදියට ජීවත් වෙන්න තීරණය කලා. මග තොටේදී ආපහු වැඩේ පටන් ගන්න කියලා ඉල්ලීම් එනවා. වැඩ අඩු කාලෙක ආයිත් පටන් ගන්න කියලා තමයි හිතන් ඉන්නෙ.

පීපී කිරීමෙදි අනුගමනය කරපු දේවල් කීපෙකුත් තිබුනා. තෝරගත් පිරිසකට නොමිලේ බෙහෙත් දීම, බෙහෙත් නොකරපු කිසි කෙනෙකුට වෛද්‍ය සහතික නොදීම, ප්‍රෙෂර් බැලීමට සහ රෙපොර්ට් බැලීමට මුදල් අය නොකිරීම වගේ. අනිත් වැදගත්ම දේ තමයි ඇන්ටි බයොටික්ස් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ පාවිච්චියෙදි සැලකිලිමත්වීම. 

දොස්තරලා බහුතරයක් මේ තරම්ම බැනුම් ඇහිය යුතු අය කියලා මමනම් හිතන්නෙ නැහැ. සන්ගමයේ වැරදි ඇති. නමුත් දොස්තරලා බහුතරයක් කැපවීමෙන් විශාල සේවයක් කරන අය. තමන් එක්ක එකට ඉගෙන ගෙන අනිත් ක්ෂේත්‍ර වලට ගිය අය එක්ක සන්සන්දනය කරන කොට දොස්තරලා ලැබෙන පඩියට වඩා සෑහෙන සේවයක් කරනවා. 

දොස්තරලගෙ පීපී වලට දිගින් දිගටම බැන ගෙන බැනගෙන යනකොට හිතුනෙ රටේ ඉන්න බරපතල අපරාධකාරයන්ගෙ කුලකෙට තමයි මමත් අයිති වෙන්නෙ කියලා. හොරකම් නොකර දන්න සාස්තරෙන් කීයක් හරි හොයාගන්න එක මහ ලොකු වරදක්ද, දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. 

දේශපාලකයින් හා දොස්තරලා තෝරා ගැනීමෙදි ජනතාව අතින් වෙන වැරදි නිසා ඇතිවෙච්ච සන්ස්කෘතිය එක සමානයි කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුම කාර් එක තියෙන ලොකුම ගේ තියෙන හුඟාක් සල්ලි තියෙන කෙනා තමයි හොඳම කෙනා කියලා මේ තෝරගැනීම් දෙකේදිම. ඉතින් මේ දෙගොල්ලොත් ජනතාවගෙ තෝරා ගැනීම වෙන්න දිවා රෑ නොබලා වැඩ කරනවා. එහෙම කරද්දි වැරදි වෙන එක වලක්වන්න බැහැ. මේක විෂම චක්‍රයක්. ඉතින් වැරදි ජනතාවද මේ දෙගොල්ලොද, තුන් ගොල්ලොමද කියලා හිතන්න වෙනවා.

දොස්තරලා සුලු පිරිසක් කරන වැරදි වැඩ ගැන ඇති වෙන්න බ්ලොග් ලිය විලා තියෙන නිසා නැවත ලිවීමේ තේරුමක් නැහැ. එහෙම අය ප්‍රතික්ෂේප කිරීම තමයි වෙන්න ඕන. නමුත් එහෙම අය ලඟට තමයි වැඩිපුර සෙනඟ යන්නෙ. එතකොට කාගෙද වැරැද්ද. වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කිරීමක් නැති කම කියලයි හිතන්නෙ.

Thursday 29 September 2016

කුකුලන් කෙටවීමෙන් ඔබ්බට



මම දේශපාලනය ගැන අන්ශුමාත්‍රයක්වත් දන්නෙ නැති පොරක්.කියවීමට තියෙන කම්මැලිකම නිසා ටීවී එකේ දේශපාලන සාකච්චා අහලා ඉගෙනගන්න ට්‍රයි එකක් දුන්නා. නමුත් ඒවා කුකුලන් කෙටවීමේ තරඟ කියලා තමයි තෙරුම් ගියේ. දේශපාලකයින් කුකුලන් බවට පත්වී මාධ්‍යකරුවන් කුකුලන් කොටවන්නන් බවට පත්වීම ජාතියේ අභාග්‍යයක්.

අන්ක එකේ කුකුලන් කොටවන්නියක් වන නෙල්කාට බබා හම්බ වීමේ හේතුවෙන් දෙරනේ අලුත් පාර්ලිමේන්තුව හරවත් දෙයක් කතා කරන්න පටන් ගැනීම අලුත් දෙයක් ඉගෙන ගන්න පොටක් පාදලා තියෙනවා. මේ සාකච්චාවෙ නොදන්න දේවල් ඉගෙන ගන්න  දන්න දේවල් ගැන අලුතින් හිතන්න යමක් තියෙනව කියලා තමයි හිතුවේ. දේශපාලනේ ගැන දන්න අය නොදන්නකමට කමා කරත්වා කියලා ඉල්ලා හිටින ගමන් නොදන්න දේවල් පෙන්නලා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ටියුඩර් වීරසින්හ මහත්තයා  වගේ අය කතිකාවතට එක් කිරීමම හොඳ ප්‍රවේශයයක්. එතුමා හතරවෙනි මූලධර්මයක් පිලිබඳව ඉදිරිපත් කරපු කාරනා අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. ඔහු කියන්නෙ මූලික ඥ්‍යායයන් තුනම ප්‍රතික්ශේප වන බවයි. මගේ ටිකිරි මොලයට  තේරුම් ගිය විදියට පුද්ගලිකත්වය මූලික උනු ලිබරල් වාදයත්, ජාතිකත්වය මූලික උනු ෆැසිස්ට්වාදයත්, පන්තිය මූලික උනු සමාජවාදයත් යල් පැන ගිය බවයි එතුමා කියන්නෙ. සන්ස්කෘතිය සහ මනුෂ්‍යත්වය පදනම් උනු අලුත් සන්කල්පයක් එතුමා යෝජනා කරනවා.

එතුමා තව ඉතාම වැදගත් දෙයක් කියනවා. ඒ තමයි චීනෙකුට බැහැ ඇමෙරුකානුවෙක් වෙන්න. ඉන්දියානුවෙකුට බැහැ ඉන්ග්ලිශ් වෙන්න. එතුමා මේ තර්කය ගොඩ නඟන්නේ සන්ස්කෘතිය මනුශ්‍යයත්වය පදනම් කරගෙන. මේ නිසාම තමයි රුවන් ජයතුන්ග කැනඩාවේ ඉදන්, රසික කවිඳු ඕස්ට්‍රලියාවේ ඉඳන් ලන්කාව ගැන බ්ලොග් ලියන්නෙ.  ඒ නිසාම තමයි දම්සො පුතා ත්‍රීවීල් කාරයො , ප්‍රයිවෙට් බස් කාරයෝ එක්ක හැප්පි හැප්පි ලන්කාවේ ඉන්න තීරණය කලේ. බ්ලොග් ලියන එකයි මහ පොලොවෙ ඉඳ ගෙන අපේ මිනිස්සුන් එක්ක ජීවත් වෙන එකයි දෙකක්. තරහ වෙන්න එපා මේක තමයි යථාර්තය.

ටියුඩර් මහත්තයා කියන ඊලඟ කාරනය තමයි පෝස්ට් හියුමන් කතාව. ඔහු කියන්නෙ බටහිර ලෝකෙ ජීවත් වෙන්නෙ සාමාන්‍යය තත්වයයෙන් එහා ගිය අසාමාන්‍යය මිනිස්සු කියලයි. භාගයක් රොබෝ. භාගයක් මිනිස්. මම කැමතියි ලන්කාවෙ මිනිස්සු එක්ක ජීවත් වෙන්න. ත්‍රීවීල් කාරයෝ අමනුස්සයන්ට වඩා හොඳයි. මේක කියන්නෙ ඒ රටවල් වල අවුරුදු තුනකට වැඩි කාලයක් ලබපු අත්දැකීම් එක්ක.

වසන්ත බන්ඩාර මහත්තය කියනවා දෙමල ජනතාවට ප්‍රශ්නයක් නැති බව. මහත්තයෝ ඕකම තමයි ප්‍රශ්නේ. ඊට එහා මේක තේරුම් කරන්න මට තේරෙන්නෙ නැහැ. ප්‍රශ්නයක් තියෙන බව තේරුම් කරන්නට යාමම ප්‍රශ්නයක් වූ සමාජයක අපි ජීවත් වෙන්නේ.

ඔහු කියන ඊලඟ කාරනය තමයි බුදු පිලිම හදන්නෙ දෙමල බෞද්ධයන්ට බව. අමූලික බොරු. බුදු පිලිම හැදුවේ හමුදා සාමාජිකයන්ට. දම්සො පුතාත් දකුනු සුඩානේ බුදු මැදුරක් හැදුවා. හමුදා සාමාජිකයන්ට. කවදා හරි ලන්කාවෙ හමුදාව එන දවසට ඒක කැඩුවා කියලා අපේ අසතුටක් නැහැ.



මනෝ ගනේෂන් මහත්තයා ගැනත් යමක් කියන්න ඕනේ. එතුමා කියන දේ හරි හෝ වැරදි හරි. එතුමා සින්හලෙන් කතා කිරීමම වැදගත්. සින්හල උගතුන්ට දෙමල ජනතාවට ඇමතීමට නොහැකි වීම ප්‍රශ්නයක් කියලයි දම්සො පුතා හිතන්නෙ

Saturday 24 September 2016

මහින්ද සර්ට එරෙහි මගේ නඩුව

Image result for mahinda deshapriya

මුලින්ම මහින්ද සර් වසරේ හොඳම රාජ්‍ය සේවකයා විදියට සම්මාන ලැබීම ගැන බොක්කෙන්ම සුභ පතනවා. මීට කලිනුත් එල් එම් ඩී එකේ සම්මානයට ඔබ තුමා පාත්‍ර උනා. ඒකටත් එක්කමයි සුභ පැතීම. 

"සර්" කියලා කිව්වෙ මැකෝ නිසා නොවෙයි. එතුමා මගේ ගුරුතුමෙක් නිසා. ගුරුතුමෙක් කිව්වට ඒක අද එතුමා රටේ ලෝකෙ වැදගත් කෙනෙක් නිසා ලකුනු දාගන්න කියන කතාවක්. දම්සො පුතා හයේ පන්තියේදි එතුමා උසස් පෙල පන්ති වලට ඉගැන්නුවා. ගුරුතුමෙක් නොවුනට එතුමා මගේ මාස්ටර් ඉන් චාර්ජ්. 

මහින්ද සර් මට හමු වෙච්ච සුවිශේෂී චරිතයක්. අද ඔහු ඒක ලෝකෙ ඉස්සරහ ඔප්පු කරලා ඉවරයි. ඔහු අතිශය සුන්දර මිනිසෙක්. මානව හිතවාදියෙක්. ඒත් ඔහු පරමා දර්ශී නැහැ. මම එහෙම කියන්නේ ඔහු වගේ වෙන්න අමාරුයි. එහෙම මිනිස්සු බිහි වෙන්නෙ කලාතුරකින්. ඔහු කොයිතර ඉහලට ගියත් අව්‍යාජත්වය ආරක්ෂා කලා. අනන්‍යතාවය ආරක්ෂා කලා. ගමේ කම ආරක්ෂා කලා. මෙතැනදියි ඔහු සුවිශේෂී වෙන්නෙ.

එහෙම මිනිසෙක් අගයන්නට තබන මේ සටහන ඔහුට එරෙහි නඩුවක් වෙන්නෙ කොහොමද කියලා අවසානෙට බලමු. මහින්ද සර් මට හමුවන්නේ අපේ ඉස්කෝලෙ මේස පන්දු ක්‍රීඩා භාර ආචාර්ය විදියට. ඔහුත් එක්ක එකම එක තරගාවලියකට යන්න මට අවස්ථාව ලැබුනා. ඒ දවස් වල මේස පන්දු තරඟ තිබ්බෙ කොලඹ රේස් කෝස් එකේ යට තට්ටුවෙ. අද එතන විශාල සාප්පු සන්කීර්ණයක්. මහින්ද සර් තමයි අපිව එක්ක ගෙන යන්නෙ. ඔහු තරඟාවලි ලේඛම් විදියටත් කටයුතු කලා. මයික්‍රෆෝන් නැතුව මහ සද්දෙට මුලු ශාලාවටම ඇහෙන්න තරඟ අඬ ගසන්න තරම් අද වගේම සද්දයක් ඒ කාලෙත් ඒ විදියටම තිබුන. කට දෙපැත්තෙන් කෙල පැනීමත් සමඟම.

අපේ මේස පන්දු ක්‍රීඩාව ගැනත් ලිවිය යුතුමයි. අපිට ගෘහස්ත ක්‍රීඩාගාර තිබුනේ නැහැ. පුහුණු වුනේ ප්‍රධාන ගොඩනැගිල්ලේ කොරිඩෝවෙ. පුහුනුකරුවො හිටියෙ නැහැ. දන්න දෙයක් කියලා දුන්නෙ වයසින් වැඩි අක්කලා අය්යලා. එයින් කෙනෙක් තමයි පසු කාලෙක අවුරුදු දහයක් විතර ජාතික ශූරිය වුනු නාමල් අක්කා එහෙම නැත්නම් නාමල් ගුනසේකර. නමුත් හැම අවුරුද්දෙම වගේ බාලක බාලිකා දෙකේම ජාතික ශූරයෝ.  අපි කණ්ඩායම් තේරීම් තරඟ තිබ්බෙ අඩුම ගානේ භාර ගුරුතුමා (වාදසින්හ සර්) වත් නැතිව. කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා මැච් ගහලා සෙල්ලම් කරන අනු පිලිවෙල සර්ට කියනවා. අද පාසැල් වල ක්‍රීඩා කටයුතු සිදු වෙන ආකාරය ගැන මතක් කරන්නයි මේ ටික ලියුවේ. ඒ කණ්ඩායමේ හිටපු වයි සී තිලකරත්න පසු කාලෙක ජාතික ශූරයා උනා. චිරත් ධනේෂ වෛද්‍යවරයෙක් වගේම ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක්. ගයාන් සහ නිරෝෂ වීරසේන සොහොයුරන් ඕස්ට්‍රේලියාවෙ සහ ඉන්දුනීෂියාවෙ ඉන්ජිනේරුවන්.

මහින්ද සර් ගැන මගේ දෙවනි මතකය ඔහුගේ කුටුම්භය පිලිබඳව. එතුමගෙ බිරිඳ රමනි ඇතුලත්මුදලි මිස් අපේ ඉස්කෝලෙම උද්භිද විද්‍යාව මිස්. නතර වෙලා හිටියේ අපේ පුන්චි අම්මගෙ ගෙදර. මහින්ද සර් හවසට හවසට බඩ ගානවා එහේ.  අන්තිමට මඟුල් ගෙදර තිබුනෙත් ඒ ගෙදරමයි. දම්සො පුතාටත් පැය ගාණක් කුකුල් මස් කපන්න උනා මඟුල් ගෙදර දවසේ. රමනි මිස් ගැනත් වචනයක් නොලියාම බැහැ. එතුමියටත් වෙනම සම්මානයක් දෙන්න තිබුනෙ දෙරනට. මෙතුමා එක්ක දීග කෑවට. ඒ තරමටම සමාජ සේවා කටයුතු සහ රාජකාරි කටයුතු වල ඔහු නියැලෙද්දි ඇය තමයි ඉන්ජිනේරු පුතෙක් සහ දොස්තර දියනියක්  ඉන්න පවුලෙ බර කර ගැහුවේ මන් දන්න තරමට. මහින්ද සර් තමන්ගෙ ගමට සහ පාසලට අතිශයින් ආදරය කරන කෙනෙක්. ඔහු තම ජීවිතයෙ වැඩි හරියක් කැප කරන්න ඇත්තෙ පාසල වෙනුවෙන්.

මේ අතර වාරෙ ඔහුත් එක්ක හැප්පිච්ච අවස්ථාත් සිහිපත් වෙනවා. දම්සො පුතාත් පැනි ගහ යට වලේ හොඳ කකුලක්. වලට සර් එක්ක කොකු තිබුනා සැරින් සැරේ. එකක් තමයි දොඩන්දූවෙ ප්‍රසාද් හේමචන්ද්‍ර යුද්දෙදි මැරිච්ච වෙලාව. ඔහු ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කෙනෙක් විදියට ඉන්දැද්දි මැරුනේ. වල එකතු වෙලා ආදි ශිෂ්‍ය සන්ගමයේ බැනර් එකක් දැම්මා. බැලින්නම් ප්‍රසාද් සන්ගමේ සාමාජිකත්වය අරගෙන නැහැ. සන්ගමෙන් කොක්ක. සර් සන්ගමේ ලොක්කෙක් නිසා පිට්ටනියට ආපු වෙලාවක වල ගේම ඉල්ලුවා. ඔයා චන්ද කොමසාරිස් නෙවෙයි පැටලිලි කොමසාරිස් කියලා ගේම ඉල්ලුවේ දම්සො පුතා නම් නෙවෙයි. (සහතික ඇත්ත ). තව වතාවක මහා ක්‍රිකට් තරඟේ ආදි ශිෂ්‍ය කූඩාරමේ කේස් එකකට ආයිත් පාරක් වල ගේමක් ඉල්ලුවා මතකයි. නමුත් එතුමා ඉතාම නිහතමානීව අදත් වල ඇසුරු කරනවා.

මෙලෝ රහක් නැති වල් පල් ලියුවෙ එතුමා බුහුමනට ලක් වෙච්ච සතුට පලකරන්න. කොයිතරම් ඉහල නිලධාරියෙක් උනත් ඔහුගේ අව්‍යාජ සරල කම අද්විතීයයි. එතුමට බිලියන් දෙකක් දුන්න කියලා කවුරු හරි ලිව්වම දුක හිතුනෙ ඒ නිසායි. ඒක ඇත්තද බොරුද කියලා දන්නෙ ලියපු කෙනයි එතුමයි විතරයි. දම්සො පුතා හිතුවේ දෙය්යනේ මේක නම් ඇත්තක් වෙන්න එපා කියලයි. ආදරණීය මහින්ද සර් ඔබ ලැබූ සියලු ගරු බුහුමන් වලටත් පාසලටත් ගමටත් ඔබ ලබා දුන් සියලු ගරු බුහුමන් වලටත් මගේ ශීර්ෂ ප්‍රණාමය!

දැන් ඔබට එරෙහි මගේ නඩුව. අපේ පාසැල අද තිබෙන තත්වය ගැන ඉතාමත් කණගාටුයි. ඒ කාලේ ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීමේ ශිෂ්‍යත්ව ලකුණු ප්‍රකාශයට පත් කලාම අපි හිටියෙ අඩියක් දෙකක් උඩින්. හැමදාම මිශ්‍ර පාසල් වල පලවෙනි ස්ථානය. දැන් සෑහෙන්න දුර පහලට බලාගෙන බලාගෙන ගිහින් වැඩේ අත ඇරලා දානවා. මේ එක උදාහරණයක් විතරයි. පාසැලේ ස්වර්ණමය යුගයන් ගැන ඔබ තුමා මට වඩා හොඳින් දන්නවා. විදුහලේ ඉතිහාසය ඔබ තුමා කට පාඩමින් කියාවි. අද පාසැලේ තත්වයත් ඔබ තුමා හොඳින් දන්නවා. දම්සො පුතා පාසැල් ගියෙත් එක් ස්වර්ණමය යුගයක. එකේ අවසාන කාලේ හිටපු විදුහල් පති තුමෙක් තමයි අද තත්වයට මුල් අඩිතාලම දැම්මෙ. එතුමා ඉතාමත් හොඳ මහත්මයෙක්, දක්ෂ ගුරුතුමෙක්, මහා ප්‍රාඥ්‍යයෙක්. නමුත් ඉතාමත් අදක්ෂ පරිපාලකයෙක්.  ඒ ගැන උදාහරණ ඉල්ලන ගානක් දෙන්නම්. මොකද දම්සො පුතාත් එතුමගෙ ශිෂ්‍ය නායක මන්ඩලයේ හිටපු කචල්ම කාරයෙක් නිසා. ඉතින් එතුමාව චිරාත් කාලයක් විදුහල්පති ධූරයේ තබා ගැනීම ඇතුලු ආදි ශිෂ්‍ය සන්ගමය වගකිවයුතු බොහෝ දේ අද තත්වයට හේතු උනා. මැති තුමනි මගේ නඩුවේ ඔබතුමාත් විත්ති කාරයෙක්. 

ඔබ තුමා මේ රටේ රාජ්‍ය සේවයට නව මානයක් එක් කලා. කීර්තිමත් පරිපාලකයකු ලෙස ඔබට ඇති දක්ෂතාවය ඔබ අපේ පාසැලට නිසි අයුරු ලබා දුන්නාද යන්න නඩු දිනයේදී මම ප්‍රශ්න කරනවා. මහින්ද සර්, අපිට කොහේ හෝ වැරදිලා. නැවතත් අපේ පාසැල සඳසේ සිරිලක සුදිලෙන තෙක් ඔබතුමා මගේ නඩුවේ විත්තිකාරයෙක්.

සැමකල් විද්‍යා දදාති විනයන් සඳ සේ සුදිලේවා!

ප.ලි - මේ සටහන හුදෙක් දම්සො පුතා සම්බන්ධ පාසැල සහ හිතවතෙක් පිලිබඳ තැබූ සටහනක් නිසා අදාල නැත්නම් සෙස්සෝ කමා කරත්වා

Monday 19 September 2016

විඳින්නට සිතන්නට




http://varunamultimedia.com.au/videos/btv/vmtube/ridee-tharaka-music/sihinayaki-re_-18-09-16/play.html?1

මේ වැඩ සටහන නරඹන්නට මම ඔබට ආරාධනය කරමි. මේ දියනියට මම හිස නමා ආචාර කරමි. ඇය මට බොහෝ දේ සිහියට ගෙන එයි. 

ඕස්ට්‍රලියාවේ සිටින මගේ එක් ඥාති සහෝදරයෙක් ඔහුගේ පුතුන් දෙදෙනා හදා වඩා ඇත්තේ සින්හල වචනයක් හෝ ඔවුන් නොදන්නා ලෙසටය. එහි කිසිම වරදක් නැත. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින මගේ අනිත් ඥාති සොයුරිය නිමාලි අක්කාගේ උසස් පෙල පන්තියේ සිටින පුතුන්ට නිවෙසින් නික්ම යන කොට වඳින්නට උගැන්වීම සතුටු දනවන කාරණයකි.. අපේ ලමයින් ගෙදරදී ඉන්ග්‍රීසියෙන් කථා නොකිරීම ගැන මගේ බිරිඳගේ විශාල කනගාටුවක් තිබිණි. නමුත් අද මගේ දියනිය ගෙදරදී සින්හලෙන් කථා කරන අතර විදුහලේ ඉන්ග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වීම ගැන අප දෙදෙනාම සතුටු වන්නෙමු.

ප්‍රන්ශයේ ඉපදී ප්‍රන්ශයේ හැදුනු වැඩුනු ඇයගේ ගායනය අපට විදින්නට යමක් ලබා දෙයි. නාරද විජේසූරිය  අපිට අප ගැන අපේ රට ගැන සිතන්නට බොහෝ දේ ගෙන එයි.

Friday 16 September 2016

කිල්ලෝටය පිරිසිදුද (කාගෙ කාගෙත්)

මේ දවස් වල නැගලා යන කේස් එක ගැන හිතට ආපු ගොන් කතා ටිකක් ලියන්න හිතුනා. ලන්කාවේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන අතිවිශිෂ්ඨ සේවය උන් කරන අනිකුත් ගොන් වැඩ නිසා වැහිලා යන එක ඉතාම අවාසනාවන්තයි. මේකට පාදක වෙච්ච ලමයි ඇතුලත් කිරීමේ මැටි මෝල් ක්‍රමවේදයෙන් අපෙ රටේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයත් කෙලෙසෙන එකත් අවාසනාවක්.

දොස්තර වරු තමන්ගේ ලමයින්ට හොඳ පාසැලක් ඉල්ලීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ. බලපුලුවන්කාරයන්, පන්දම් අල්ලන් සහ හොර ලියකියවිලි හදන්නන් ලමුන් ඇතුලත් කරන් ක්‍රමයක් රටේ නිර්මාණය වී තිබීම තුල දොස්තර වරුන්ද තමන්ගෙ ලමයින් හොඳ පාසැලකට ඇතුල් කිරීමට උත්සාහ කිරීම සාධාරණයි. දොස්තරලා ලමයින් දා ගැනීමේ වැරදි දකින බොහෝ අය තම ලමයා දා ගත් ආකාරයත් හෘද සාක්ෂියෙන් විමසුවොත් හොඳයි කියලයි හිතෙන්නෙ.

හොඳ පාසැලකට ලමයි ඇතුලත් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. එන්ගලන්තයේ දෙමව්පියන් ග්‍රැමර් ස්කූල් විභාගය සදහා ලමුන් දක්කා ගෙන යන අයුරු පසු ගිය දිනවල සියැසින් දැක්කා. අවුරුදු ගනන් ඒ සදහා ටියුෂන් යැවීම තියෙන්නේ ලන්කාවෙ විතරක් නොවෙයි. ඕනෑම දෙමව්පියෙක් තමන්ගෙ ලමයට හොඳම අධ්‍යාපනය දෙන්න උත්සාහ කිරීම හෙන ගහන අපරාධයකුත් නෙවෙයි.

නමුත් මේ ප්‍රශ්නය මුල් කරගෙන ස්ට්‍රයික් කිරීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක්. දොස්තරවරු තමන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගන්නේ මෙතැනදි.

දොස්තරවරුන් ස්ට්‍රයික් කිරීමට පෙර හදාගත යුතු වැරදි ගොන්නක් තියෙනවා. ඒ සදහා වෛද්‍ය සන්ගමය මැදි හත් වෙලා තියෙනවා කවදාවත් දැකලා නැහැ.

පලවෙනි දේ තමයි වෛද්‍යවරුන් වැඩි පිරිසක් කොලඹට කේන්ද්‍රගත වීම. ලන්කාවෙ සිටින මුලු වෛද්‍යවරුන්ගෙන් කොලඹ දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රතිශතය හරියටම කියන්න දන්නෙ නැති වුනාට එය 30% කට ආසන්න අගයක් වෙනවා කියල තමයි මම හිතන්නෙ. මේකට ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල කොලඹට ආසන්න ප්‍රදේශ වල අයත් එකතු කලාම අඩුම තරමින් 40% ඉක්මවනවා. එහෙම නියම අවශ්‍යතාවයක් තියෙනව නම් ගැටලුවක් නැහැ. නමුත් මෙයින් වෙලා තියෙන්නෙ වෛද්‍යවරු නිකම් ඉන්න ප්‍රමාණය වැඩිවීම. සිදුවිය යුත්තේ පිරිස වැඩි වුනාම රෝගී සත්කාර වල ගුනාත්මක භාවය වැඩි වීම වුනාට එහෙම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත්, සමහර රෝහල් වල පැය හයේ ෂිෆ්ට් එක දෙකට බෙදා ගෙන පැය තුන බැගින් වැඩ කරන්නේ. දෙදෙනාම පැය හයම වැඩ කලානම් රෝගියෙකු වෙනුවෙන් වැය කරන කාලය වැඩි කරන්න පුලුවන්.

කෙනෙකුට තර්ක කරන්න පුලුවන් වැඩ අඩු නිසා එක් කෙනෙක් හිටිය ඇති කියලා. නමුත් රජයේ සේවකයෙක් ලෙස එසේ කිරීම වරදක්. අනිත් එක තමයි වැඩ අඩුයි කියන්නේ දොස්තරලා දෙන්නෙක් එතැනට අවශ්‍ය නැහැ කියන එක. මේ තත්වයට වෛද්‍ය සන්ගමය වගේම සෞඛ්‍ය අමාත්‍යයන්ශයත් වග කිව යුතුයි. අත්සන් කිරීමට විරුද්ධ මේ හින්දා තමයි.

අනිත් කාරණය තමයි ඉවක් බවක් නැතිව තම දැනුම ගණිකා වෘත්තියේ යොදවමින් කරන පෞද්ගලික වෛද්‍ය ජාවාරම. ප්‍රසිද්ධියේ බෝඩ් ගහල තියෙනවා. උදේ 7 සිට 8 ටත්. හවස 4 සිට රෑ එකොලහ දොලහ වෙනකනුත් ඇරලා තියෙනවා කියලා. එතකොට මේ අය අටට වැඩට යන්නෙත් හතරට එන්නෙත් එර්දියෙන්ද කියන ප්‍රශ්නෙත් එනවා. මෙයින් තේරෙන්නෙ රජයේ නීති රීති තමන්ට අදාල නැහැ කියන උද්දච්ච කම ඇරෙන්න වෙන මොනවත් නෙවෙයි. මේ තැන් වලදි රෝගීන්ට සිද්ද කරන හිපොක්‍රටීස්වත් කෙලසන තුට්ටු දෙකෙ වැඩ ගැන දොස්තර කෙනෙක් විදියට ලියන්න ලැජ්ජ නිසා ඒ ගැන නොලියා ඉඳිමු. ඒ අතරම ඉතා සාධාරන විදියට අති මහත් සේවයක් තම පෞද්ගලික වෛද්‍ය ස්ථාන වලින් ඉටු කරන පිරිස අතිමහත්. නරුමයන් කිහිප දෙනෙක් පමනයි ඉන්නෙ. නමුත් මේ දේවල් නියාමනය කරන්න වෛද්‍ය සන්ගමය වත් අමාත්‍යන්ශයවත් ක්‍රියාශීලී නොවීම හරිම කණගාටුදායකයි.

අද වෛද්‍යවරුන්ට එල්ල වෙන විරෝධයට අසාධාරන ලමයි ඇතුලත් කිරීමේ ඉල්ලීම වගේම මේ කාරණා සියල්ලම බලපානවා කියලා තමයි හිතෙන්නෙ. ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ.


ලමයි ඇතුලත් කිරීමේ ප්‍රශ්නයට ගන්න පුලුවන් සාධනීයම පියවර ලෙස මම දකින්නේ ප්‍රාථමික පාසල් ද්විතීයික පාසල් වලින් වෙන් කිරීමයි. බොහෝ රටවල පාසල් පද්ධතිය සකස් වෙන්නේ මේ විදියට. මේකෙන් ආදි ශිෂ්‍ය මාෆියාවටත් උත්තරයක් හම්බ වෙනවා. මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.

Monday 12 September 2016

They will bring you sweets


කවිඳු ගෙ පවුල ගෙන්නා ගැනීමෙ  ණයට ඉල්ලා අමනාප නොවන්න පෝස්ට් එකෙන් පස්සේ මේ සිද්ධිය ලියන්න හිතුවා.කථාවෙ නිමිත්ත සමාන උනාට ඒ යටින් යන ඛේදවාචකය නම් ටිකක් controversial තේමාවක්. ජාතිවාදය අතිශය ආකර්ෂනීයයි. නැගලා යන සීන් එකක්. දම්සො පුතාගෙ අදහස නම් අපි හැමෝම කිසිම වෙනසක් නැති එකම මනුෂ්‍යය ජාතියක් කියලයි. අහම්බයක් විදියට උපතින් ලැබෙන ජාතිය ආගම නිසා අපි දුරස් වෙන එක අපිට උරුම කරපු සදාකාලික කරුමයක්. ජාතිවාදීන් මුල මැද අග නොදකින අන්ධයන් රැලක් වැනිය කියලා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හමුදුරුවෝ කියලා තියෙනවා.


ඉතින් කථාවට බහිමු. මේක සිද්ධ වෙන්නේ යුද්ධෙ නැගලම යන කාලේ. දම්සො පුතා පශ්චාත් උපාධියට තේරුනා. ඒ කණ්ඩායමට ආවා දෙමල අය හතර දෙනෙක්. මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කොලඹ ආපු පලවෙනි වතාව. එක් කෙනෙක් මුලතිව් වල ඉපදිලා යාපනේ හැදිලා වැඩිලා කොලඹ රස්සව කරපු කෙනෙක්. ඔහුට අපි ඇන්තනි කියමු. ඇන්තනි දැන් නම් ලෝක සෞඛ්‍ය සන්විධානෙ ලොක්කෙක්. අපේ කථානයකයා (එයාට අපි මුරලි කියමු ) ඇතුලු ඉතිරි තුන් දෙනාම කොලඹ ඇවිත් තියෙන්නෙ පලවෙනි වතාවට. දන්න කියන දවසේ ඉදන් ඔවුන් අහල තියෙන්නෙ සින්හල ජාතිය මිනීමරු අසමජ්ජාති ජාතියක් කියල විතරමයි.

ඔන්න කෝස් එක පටන් ගන්න දවසේ මුලින්ම තිබුනා එකිනෙකා හඳුනා ගැනීම. දම්සො පුතාත් නැගිටලා තොම්බුව කිව්වා. වැඩ කරන තැනත් කියන්න එපැයි. එදා හමුදාවෙ වැඩ කරන්නෙ කියලා කියුව වෙලාවෙ ඉඳන් අපේ යාලුවො තුන් දෙනා මූනවත් බලන්නෙ නැහැ. ඇන්තනි නම් තේ වෙලාවෙ. කෑම වෙලාවෙ ලාවට වචනයක් දෙකක් කතා කරනවා. 
ඔහොම මාසයක් විතර ගත වෙලා ගියා.

කතාවෙ ඉතුරු ටික කියන්න කලින් පස්සෙ කාලෙක මුරලි කියපු අතිශය සන්වේදී ජීවිත් අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුනා.මුරලි ඒ ලෙවල් කරලා ඉවර වුනේ රිවිරැස ඔපෙරේෂන් එක පටන් ගන්න ටික කාලෙකට කලින්. වෛද්‍ය විද්‍යාලෙට තේරිලා ඉන්න අතරතුරේ ටියුෂන් කරගෙන හිටියේ. ඒ අතරෙ යාපනේ යුද්ධෙ පටන් ගත්තා. පලවෙනි දවසෙම යාපනේ මිනිස්සු ගෙවල් අතහැරලා යන්න පටන් ගත්තා කොටින්ගෙ අන උඩ. මුරලි ටියුෂන් ඉවර කරලා ගෙදර එනකොට පවුලෙ උදවිය කිලිනොච්චි යන්න ගිහිල්ලා. මිනිස්සු කොටින්ගෙ පැත්තට පලෙයි මුර පොල හරහා කිලිනොච්චි වලටත් පේදුරුතුඩුවේ හමුදාව යටතේ තිබුනු ප්‍රදේශයටත් සම සමව ගියා. අම්මලා තියලා තිබුනු පනිවිඩේට මුරලිත් කිලිනොච්චි යන්න පලෙයි වලට එනකොට රෑ බෝ වෙලා මුර පොල වහලා. එලිවෙනකම් හිටියා උදේට එහා පැත්තට යන්න. මෙහෙම ඉන්න අතරෙදි මුරලි ටියුෂන් දෙන ගෑනු ලමයකුගෙ තාත්තා කෙනෙක් හම්බ වෙනවා. එයා ඉන්ජිනේරු මහත්තයෙක්. එයා කියනවා කැම්පස් තේරිලා ඉන්න නිසා කිලිනොච්චි යන්න එපා පේඩුරුතුඩු යන්න කියලා. හමුදාවෙන් යාපනේ අල්ල ගත්තට පස්සෙ කැම්පස් යන්න පුලුවන් නිසා. කිලිනොච්චි ගියොත් කොටි ආපහු එන්න දේවිද කියන එක සැකයක්. මුරලි ලෝක දෙකක අතරමන් උනා. අම්මලා ගාවට යන්නද මේ මහත්තයා කියන දේ අහන්නද. රෑ එලි වෙනකම් නින්දක් නැහැ හිත සැරින් සැරේ වෙනස් වෙනවා. රාත්‍රිය සෑහෙන්න දිගයි.
අවසානේ තීරනය කරනවා. පේදුරුතුඩු යන්න. පස්සෙ ඉන්ජිනේරු මහත්තය කියපු දේ සැබෑ වෙනව. මුරලි දොස්තර කෙනෙක් වෙනවා. පවුලෙ උදවිය නැවතත් යාපනේ එනවා.මුරලි කියන්නේ කිලිනොච්චි ගියානම් එය කොටියෙක් වෙලා මැරිලා යයි කියලයි. ඒ මුරලිගෙ සුඛාන්තය. අපි නොදන්නා කී දාහක් දෙමල තරුණයන්ගෙ ජීවිත ඛේදාන්තයක් වෙලා ඇතිද. යුද්ධය කොහොමත් කුරිරුයි. අපේ ඔක්කොගෙම ජීවිත කාලකන්නි කලා.

ආපහු කියාගෙන ආපු කතාවට යමු. මුරලිගෙ නෝනයි ලමයි දෙන්නයි යාපනේ තියලා තමයි කෝස් එකට ඇවිත් තියෙන්නේ. කලබලේට නියම දවසට එන්න ඕන නිසා. කට්ටියව ගෙන්න ගන්න විදියක් නැහැ යාපනේ ඉඳන් එන සිවිල් ප්ලේන් එකෙ ටිකට් ගන්න අමාරුයි. රුපියල් තුන් දාහෙ ටිකට් එක හැටදාහට කලු කඩේ විකුනන්නෙ. හැට දාහට ගන්නත් ඇඳුරුම් කම් තියෙන්න ඕන. යුද්ධය හොඳ ජාවාරමක්. මුරලි සෑහෙන ට්‍රයි එකක් දුන්නත් වැඩේ කරගන්න බැරිව මාසයකටත් වඩා ගෙවිලා ගියා. දැන් නම් මුරලි වහ බොන ගාණට ඇවිත්. බැරිම තැන ඇන්තනි කිව්වා දම්සො පුතා හමුදාවෙ නිසා එයාටවත් කියලා බලමු කියලා. මුරලි කැමති උනේම නැහැ. කොටි උගන්නපු ජාතිවාදේ තදින්ම තිබුනා. බැරිම තැන හතර දෙනාම ඇවිත් දම්සො පුතාගෙන් උදව් ඉල්ලුවා. දම්සො පුතා පොරොන්දු උනා මොනව හරි කරන්න බලන්න.

යාපනේ හිටපු සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා පොඩ්ඩක් විතර දන්න කෙනෙක්. අමාරුවෙන් ටෙලිෆෝන් කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. මෙයා අඳුරගෙන ටික කාලයයි. කිසිම විස්තරයක් දන්නෙ නැහැ. ආරක්ෂක ප්‍රශ්න නැත්නම් විතරක් පුලුවන් උදව්වක් කරන්න කියලා. නිලධරියාටත් කලින් උදව් කරලා තියෙන නිසා වැඩේ බලන්න පොරොන්දු උනා. ටිකට් කරන ඒජන්ට් ගෙන්නලා වැඩේ බලන්න කිව්වා කියන පනිවිඩේ ලැබුනා.


සති දෙකක් විතර ගියා. වැඩේ උනේ නැහැ. හමුදාවෙන් කිව්වත් වැඩේ නොකෙරෙන ගානට ටිකට් ජාවාරම තදයි. මුරලිට පිස්සු වගේ. වහ බොන ගානට කියලා ඇන්තනි කියනවා. ආපහු නිලධාරියට කතා කරලා වැඩේ නොකෙරුන බව කිව්වා. මිනිහට අසූ හාර දාහට මල පැන්නා. ඒජන්ට්ව නැවත ගෙන්නලා වැඩේ උනේ නැතිවුනොත් වෙඩි තියෙනවා කියලා තර්ජනය කලයින් පස්සෙ තමයි ටිකට් හම්බවුනේ.


මුරලි එස් එම් එස් එකක් එවනවා දම්සො පුතාට

They will bring you sweets.

Tuesday 6 September 2016

ණය ගෙවීම - 1

ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක් හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.

ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක් අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, පොලොවට පස් වෙන මව් බිම වෙනුවෙන් තියෙන ණය. ඒ ණය සුලුවෙන් හරි ගෙවන්න දම්සො පුතාට ඉඩක් නිර්මාණය වෙන්නෙ අවාසනාවන්ත යුද්ධය නිසා වීම අවාසනවක්. ඒ අවාසනාවන්ත වේදනාත්මක අත්දැකීම සටහන් කරන්නයි උත්සාහ කරන්නේ. 

යුද හමුදාවට බැදුනේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා. හෙදර ඉතාමත් අකමැත්ත මත. එක් වරක් පමණක් ඒ ලෙවල් විභාගය කිරීම සහ ඒ දිනවල තිබිච්ච දැඩි ජීවිත අවදානම තමයි ප්‍රධාන විරෝධතා. හමුදාවට බැදෙන්න ප්‍රධාන හේතුව වුනෙත් ඒකම තමයි. ඒක තමයි දෙවන වර ඒ ලෙවල් කිරිල්ලෙන් ගැලවීම  සහ කැම්පස් ගිහින් තව අවුරුදු ගානක් කුණ කන්න තිබුනු අකමැත්ත. ඊට අමතරව කීයක් හරි අතට ගන්න තිබුනු ආශාව, යුනිෆෝර්ම් එකක් අදින්න තිබුනු ආශාව වගේ අවශේෂ හේතුත් තිබුනා. කැම්පස් නොය ඉදීමේ බලාපොරොත්තුව නම් ඉෂ්ට වුනේ නැහැ. හමුදාවට බැදෙද්දි විශ්ව විද්‍යාලෙ නීති පීඨෙට තේරිලා තිබුනත් කොහොමින් හරි අන්තීමේදි වෛද්‍ය පීඨෙටම යන්න වුනා. සරලව කිව්වොත් දම්සො පුතා මෙඩිසින් ගියේ ලකුනු අඩුවෙන්. හැබැයි එහෙම වුනාට එකම වතාවක් වත් එකම විෂයක් වත් අසමත් නොවී වෛද්‍ය උපාධිය ගත්තා විතරක් නොවෙයි විශේෂඥ්‍ය සුදුසුකමුත් අර ගෙනයි නතර වුනේ. ඒ හින්දා දොස්තර කෙනෙක් කිරීම පිලිබඳ ණයකුත් හමුදාවට ගෙවන්න ඉතුරු වුන. ඒ ණයත් යම් තරමින් හරි ගෙව්වා කියලයි දම්සො පුතා හිතන්නෙ. 

විභාග පාස් වීම සම්බන්ධයෙනුත් පොඩි කතාවක් මතක් වුනා. වැඩිය ක්‍රෑම දැමීමක් නැති නිසාත්, ලෙක්චර්ස් යනවට වඩා කලේ වැල්ලමඩමේ ජිම් එකේ සෙල්ලම් කරපු එක නිසාත් හැමදාම රිපීට් එග්සෑම් එකේ රිසල්ට්ස් දීපු දවසට මේ පාර ගොඩද කියලා සින්නොයි ජුන්නොයි දෙගොල්ලොම අහනකොට තමයි මල පැන්නේ. 

කොහොමින් හරි ණය ගෙවීම ආරම්භ කලේ ඉගෙන ගන්න කාලේමයි. කැම්පස් ගියේ බූස්සේ කෑම්ප් එකේ ඉදන්. ඒ කාලේ  යුද බිමේ මිය ගිය දකුණු පලාතේ සෙබලුන්ගෙ  මල සිරුරු ගෙනාවේ ඒ කෑම්ප් එකට. සමහර දවස් වලටහිබුනු වැඩ ප්‍රමාණය කෑම්ප් එකේ හිටපු නිලධාරින්ට කරගන්න බැරි උන නිසා කැම්පස් යෑම පැත්තකින් තියලා බොඩීස් අරගෙන ගෙවල් වලට භාර දෙන්න ගියා. මේක තමයි ජීවිතේ කරපු අප්‍රසන්නම රාජකාරිය. දුප්පත් අම්මලා තාත්තලාගෙ, ආදරය කරපු මිනිස්සුන්ගෙ කදුලු හරි බරයි.

පලවෙනි වතාවට ක්‍රියාන්විතයකට සම්බන්ධ වුනෙ අවසාන විභාගෙ ඉවල කරලා වෛද්‍ය වරයෙක් වෙන්නත් ඉස්සර. විභාගෙ ඉවර වෙච්ච දවසට දවස් දෙකකට පස්සෙ කොටි යාලට, කතරගමට ගැහුවා. දකුනු පලාත් ආඥාපති බ්‍රිගේඩියර් ශ්‍රියාන් රනතුන්ගගෙ මෙහෙයවීමෙන් මෙහෙයුමක් පටන් ගත්තා. ඒ පලාතේ රාජකාරි වලට හිටියේ ඉතාම සීමිත පිරිසක් නිසා යුද, නාවික, ගුවන් හමුදා තුනේමයි සිවිල් ප්‍රදේශයක් නිසා පොලීසියෙනුයි සහභාගි වුනා. ගාල්ලේ නේවි කෑම්ප් එකෙන් බෝට්ටු වලින් යාලට ගොඩ බැස්සා. පොලිසියේ කට්ටියට බැක් පැක්ස් නොතිබුනු නිසා සමහරු ශොපින් බෑග් වල බඩු දාගෙන ගියේ. ඒ නිසා ඔපරේෂන් ශොපින් බෑග් කියලා නමකුත් පටබැන්දා මේකට. මේක නිසා යාල කැලේ බ්ලොක් ටූ එකේ පයින් ඇවිදින්නත් චාන්ස් එකක් ලැබුනා. ඔපරේෂන් එක අවසාන වුනේ එකම උන්ඩයක් වත් පත්තු නොකර. කොටි කලින්ම පැන ගිහින්. කොටි තිප්පොලවල් විනාශ කරන්නත්, පහරදීම් වලට සම්බන්ධ වුනු ගන්ජා සහ පොකිරිස්සන් ජාවාකරුවන් අත් අඩන්ගුවට ගැනුනා. සතියකින් විතර වැඩේ ඉවර වුනාට දම්සො පුතාට ආපහු එන්න ලැබුනේ නැහැ. යාල කතරගම ආරක්ෂාවට කුඩා කදවුරු පිහිටෙව්වා. දම්සො පුතාටත් සිතුල් පව්වෙ මූලික කදවුරේ ටික දවසක් ඉන්න අන ලැබුනා. සිතුල් පව්වේ පන්සලේ ලොකු හාමුදුරුවො ඇසුරු කරන්නත් අවස්ථාවක් උදා වුනා. කෑම්ප් එක භාරව හිටියෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ ලුතිතන් ඉන්දික ජයවීර.

මෙහෙම ඉන්න අතරෙදි තමයි අවසාන විභාගෙ ප්‍රතිඵල නිකුත් උනේ. ආරන්චි වුනේ නම නැහැ කියලා. සාමාන්‍යයෙන් නම නැහැ කියන්නේ සබ්ජෙක්ට් ඔක්කොම ඇණ. මේ පාර නම් බඩු තමයි. කෝකටත් රිපීට් එකට සෙට් වෙන්න හිත හදා ගෙන ආපහු ඇවිත් ෆැකල්ටියට ගිහින් බැලුවම තමයි හිත කූල් වුනේ. බැලින්නම් ලයිබ්‍රි පොතක් රිටර්න් නොකිරීමට රිසල්ට්ස් අත් හිටුවලා. රිසල්ට්ස් නිකුත් කරන්න කලින් පනිවිඩේ කියන්න නොන් ඇකඩමික් කට්ටිය ෆුල් ට්‍රයි කරලා. ඒ වුනාට දම්සො පුතා යාල කැලේනේ.

අවසාන විභාගෙත් කොහොමින් හරි ගොඩ දාගෙන ගිහින් රිපොර්ට් කරා කියමුකෝ. ජය සිකුරු එකේ හොඳම කාලේ. එකෙක් ආවත් රත්තරන් වටිනවා. ආපු දවසට පස්සෙන්දම දම්සො පුතා උඩ දාලා පයින් ගැහුවා. වැටුනේ ඕමන්තෙට. යුද බිමේ මුල්ම රැය ගෙවුනෙ ඕමන්තේ ඉස්කෝලෙ ලඟින් ඇතුලට යන පාරෙ අටවපු ටෙන්ට් එකක. මුලු සේනාන්කෙටම එකම දොස්තර. සහායට හෙදවරු , අනික් අය පහලොවක් විතර, ඇම්බියුලන්ස් එක තමයි නිල රථය. ඉන් පස්සෙ අවුරුදු ගානක් ජීවිතේ වැඩිපුර ගෙව්වෙ මේ පසුබිමේ.

ගියපු පලවෙනි දවසෙම තුවාල කාරයො එන්න පටන් ගත්තා. කොලඹින් එනකොට ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලදාරින් දීපු අවවාද හුඟාක් ප්‍රයෝජන වුනා වැඩේ අල්ලගන්න. සහයකයො ගැනනම් කියන්න වචන නැහැ. තුවාල කාරයො ගෙනාවහම මුලු සැරහුම් මඩ්‍යයස්ථානෙම කඩි ගුල වගේ. ඇම්බියුලන්ස් රියදුරා දවසට සිය සැරයක් හරි වවුනියාවට ඉගිලෙන්න ලැහැස්තියි. අපි යවන්නේ වවුනියාවට එතනින් තමයි අනුරාධපුරේට අමාරුම අය ඕමන්තෙන්ම චොපර් එකට. තුවාල කාරයොන්ට අමතරව සාමාන්‍ය ලෙඩ්ඩු දවසකට සීයක් විතර. මැලේරියාව දරුණුවටම. දම්සො පුතාට තුන් සැරයක් හැදිලා තියෙනවා. 

මෙහෙම සතියක් විතර ඉන්න කොට කොලඹින් නියෝගයක් ආවා ඕලුමඩු යන්න. හේතුව ඕලුමඩු වලට ගියපු චොපර් එකකට ගහලා බිම දාලා. ඒ එක්කම ගහපු ආටිලරි පාරකට එතන හිටපු කැප්ටන් සන්ජීව දොඩන්ගොඩගෙ සබ්බ සකලමනාවම ඉවරයි. හට් එක උඩටම ආටියක් වැටිලා. බන්කරේකට රින්ග ගත්ත නිසා ජීවිතේ බේරිලා තියෙන්නෙ. ඇඳන් හිටපු කලිසමයි ෂර්ට් එකයි විතරයි ඉතුරු. ඕලුමඩු කෑම්ප් එක මේන් ෆ්‍රන්ට් ලයින් එකෙන් හැතැප්ම විසි දෙකක් විතර උඩින් තිබුනු හුදකලා කදවුරක්. චොපර් එකට ගහපු නිසා යන්න පුලුවන් එකම ක්‍රමය ට්‍රැක්ටර් විතරයි. මඩ නිසා වෙන වාහන යන්න බැහැ. කෝප්‍රල් පෙරේරා එක්ක හවස තුනට විතර ඕලුමඩු යන්න ට්‍රැක්ටර් එකට ගොඩ වුනා. ටික දුරක් යනකොට ට්‍රේලර් එක ජොයින්ට් එකෙන් ගැලවිලා පෙරේතය පොලොවෙ ගැහුවා වගේ ඔක්කොම මඩේ. මඩ නාගෙන පයින් ඇද්දා හැතැප්ම දොලහක් විතර. ගිහින් පස්සෙන්දා උදෙන්ම සන්ජීවව කොලඹ පිටත් කලා යුනිෆොර්ම් එකක් එහෙම හොයලා දීලා. ඕලුමඩු එම් ඩී එස් එකත් ටෙන්ට් එකක තිබුනේ. ආරක්ෂාවට විශාල බන්කරයක් තිබුනා. නිදා ගත්තෙ ලී කෝටු වලින් හදපු මැස්සක.

ඕලුමඩු වලට ගිහින් දෙවෙනි දවසේ තමයි මුල්ම චෙස්ට් ටියුබ් එක දැම්මේ. ඒකෙන් කෙරෙන්නේ පෙනහැල්ල අතරට බැහැලා තියෙන ලේ ඉවත් කරන එක. එහෙම කලේ නැත්නම විනාඩි ගානක් තුල මිය යන්න පුලුවන්. ඒක තයි යුද බිමේ වෛද්‍ය වරු ඉන්න එකේ වැදගත් කම.දම්සො පුතා චෙස්ට් ටියුබ් එකක් දාලා ජීවිතේ බේරුන බ්‍රිගේඩියර් අතුල මාරසින්හ කියන විදියට දියේ ගිලිල මැරෙන්න යන දරුනු වේදනාවක්ලු ඇති වුනේ. සාමාන්‍යයෙන් මේව කරන්නේ ශල්‍ය වෛද්‍යවරු එහෙම නැත්නම් අත්දැකීම් තියෙන අය ශල්‍යාගාර වල. සති දෙකේ දොස්තර කැලේ මැද ටෙන්ට් එකක. කොහොම හරි වැඩේ ගොඩ දාගෙන කොල්ලගෙ පන බේරගත්තා. උද්ව්වට හිටිය නර්ස් සාජන් හෙට්ටිආරච්චිත් මතක් කල යුතුමයි.

ඕලුමඩු ජීවිතය හරිම කටුකයි. වැසිකිලි ගියේ පිකස් එක අරන් කැලේට. කෑම ආවේ ඉදලා හිටලා. ප්ලේන් වරින් එයාර් ඩ්‍රොප් කරොත් තමයි. සමහර ඒවා වැටෙන්නේ කොටින්ගෙ පැත්තට. හුඟක් දවසට පරිප්පුයි හාල්මැස්සොයි බතුයි. නාන්න පාප්පමොටෙයි හන්දියට යන්න ඕන නනා ඉන්න කොට ආටි ගැහැවුවොත් මඩ වලට පනින්න ඕන. කොල්ලො නිවාඩු යන්නෙ පයින් හැතැප්ම 22ක් පොම්පෙමඩු වලට ගිහින්. දම්සො පුතාට නම් ඒ ප්‍රශ්නෙ නිකම්ම විසදුනා. පාර්ට් එකක් දාපු ලොක්කගෙ ගෝලයෙකුට කුනුහරුපෙන් බැනලා පන්න ගත්ත වැරැද්දට මාස දෙකහමාරක් නිවාඩු නැතිව ඉන්න වුනු නිසා. හැබැයි මොරාල් එකෙ අඩුවක් තිබුනේ නැහැ. ආටි අස්සෙම චොපර් පෑඩ් එකේ ක්‍රිකට් ගැහුවා. කොල්ලොන්ගෙ ජාතික ක්‍රීඩාව පෝටර් ගැසීම ඉදලා හිටලා හොරෙන් ලක්ෂ ගාණක් වටින තේක්ක බන්කරේට වෙලා හීනියට අඩියක් ගැසීම (නිවාඩු ගිහින් එන එවුන් හොරෙන් මැදවච්චියෙන් පන්න ගත්තොත් තමයි ඒකත්) මේවා තමයි විනෝදාන්ශ.. ඕලුමඩු කෑම්ප් එකේ හිටපු අනදෙන නිලදාරි ලුතිතන් කර්නල් රුවන් කුලතුන්ග, එස් එෆ් එකේ මේජර් දම්මි හේවගේ, මේජර් මහින්ද රනසින්හ, මගේ බැච් මේට් කැප්ටන් පැරකුම්, මේජර් ලසන්ත පෙරේරා මතක් නොකොලොත් අඩුවක්. රෑ දවල් නැතිව තුවාල කාරයෝ ඒ මදිවට මැලේරියවයි හෙපටයිටිසුයි වැහි වැහැලා. තනි දොස්තර.

ඔන්න ඔය විදියට තමයි ණය ගෙවීමෙ ආරම්භෙ. අවුරුදු 19ක් 20ක් විතර කතාව යන නිසා මතකෙ හිටිය වැදගත් කොටස් විතරක් ඊළඟට ලියන්න බලමු. නයා පාරක් කියලා හිතුනු අය ඊළඟ කොටස් නොකියෙව්වට කිසිම තරහක් නැහැ. 


Saturday 3 September 2016

වීසා අලකලන්චි

දම්සො පුතාට තරම් වීසා අලකලන්චි වෙච්ච එකෙක් මේ සක්වලේම ඉන්නවද සැකයි. ඒ විස්තර ලියන්න හිතුනේ තිලක සිතගේ බොම්බායි බෝඩිම -1 පොස්ට් එක කියෙව්වහම.

පලවෙනි කේස් එක තිලක සිතගේ කේස් එක කිට්ටුවෙන්ම යන එකක් වුනාට ඒ වගේ සුඛාන්තයක් නම් වුනේ නැහැ. දම්සො පුතාට අවුරුද්දකට චීනෙ යන්න චාන්ස් එකක් ආවා 2005 හේදී. සෙට් එකම යන්න තීරනය කරා. එතකොට කෙල්ලො දෙන්නා පොඩියි. ලොකු එකීට තුනයි. පොඩ්ඩිට එක හමාරයි. වීසා නිවාඩු ඔක්කොම සෙට් කර ගත්තට පස්සෙ පොඩි කොස්සක් ආවා. මස්සිනාගෙ වෙඩින් එක සැප්තැම්බර් 3. දම්සො පුතා අගෝස්තු 30 ෂැන්හයි ඉන්න ඕන කියලා මූලස්ථානෙන් දැනුම් දුන්නා. එකම මල්ලිගෙ වෙඩින් එක නිසා තුන් දෙනාට වෙඩින් එකෙන් පස්සෙ එන්න කියලා දම්සො පුතා නියම දිනේට යන්න තීරණය කලා. පොඩි දෙන්නත් එක්ක තනියම එන්න අමාරු නිසා රන්ජිත් මස්සිනාටත් කඩිමුඩියෙම වීසා ලැස්ති කරගත්තා.

චීනෙට ගිහින් සති දෙකකින් විතර දරු පවුල එන දිනයත් කිට්ටු උනා. බොහෝම උනන්දුවෙන් අඩුම කුඩුම ලැහැස්ති කලේ කට්ටිය පිලිගන්න. කොහොම හරි එන දිනෙත් උදා වුනා. රන්ජිත් මස්සිනාත් එක්ක කට්ටිය එයාර්පොර්ට් එකෙන් පිටත් වෙනවා කියලා කෝල් එක්කකුත් දුන්නා. තව පැය කීපයයි කට්ටිය ආයෙත් එකතු වෙන්න තියෙන්නේ. උදේට කට්ටිය ගන්න විශ්ව විද්‍යාලෙන් වාහනයකුත් ලැහැස්ති කරලා නින්දට ගියේ උදේට නැවත වතාවක් පවුල එකතු වෙනවා කියන සන්තොෂෙත් එක්ක.

රෑ දෙකට විතර රන්ජිත් මස්සිනා හොන්කොන් එයාර්පොර්ට් එකේ ඉදන් දීපු කෝල් එකෙන් තමයි තිස් තුන්දාහ වැදුනෙ. වීසා එකේ පොඩි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ නම විතරයි තියෙන්නෙ කියලා හොන්කොන් වලින් එන්න දෙන්නේ නැහැ කියලා තමයි අය්යගෙ කෝල් එක. චීන එම්බසියෙ තමයි බුල. චීන භාෂාවෙන් තිබුනු නිසා අපි දන්නෙත් නැහැ ලන්කාවේ ඉමිග්‍රේෂාන් එකෙනුත් හොන්කොන් වලට එවලා මාර තොප්පියයි.

ජීවිතේ ගත කරපු දිගම පැය කීපය ගෙවුනේ පස්සෙන්දට එලි වෙනකම්. අලුතෙන්ම අඳුනගත්ත කල්ලො ටික (නයිජීරියාවෙ මොහොමඩුයි, මැඩගස්කාරෙ නෝර්බටුයි, සිම්බාබ්වේ බායායි ) එලි වෙන කම් තනි රැක්කා. එලි වෙච්ච වෙලාවෙ ඉදන් ගැටේ ලිහා ගන්න දහ අතේ දැගලුවා. කැම්පස් එකේ කට්ටිය මාර්ගෙන් චීන බලධාරින්ටයි, බෙයිජින් වල ශ්‍රී ලන්කා එම්බසිය හරහායි නොකල දෙයක් නැහැ. ඒ අතර ලන්කාවෙත් ෆුල් ට්‍රයි එක. කට්ටියව එයාර්පොර්ට් එකේ හෝටලයකට දාලා අවුල ලිහාගන්නකම්. දවසම ගෙවුනා කිසිම ප්‍රතිඵලයක් නැතිව. පොඩි එවුන්ට හරි හමන් කෑමකුත් නැහැ. අන්තිමේදි තීරනය කලා කට්ටියව ආපහු ලන්කාවට යවන්න.

ලන්කාවට ගියායින් කථාව ඉවරම නැහැ. ටයි එකක් දාගෙන එහෙම ජැන්ඩියට ආපු රන්ජිත් මස්සිනා ආයි ගිහින් තියෙන්නෙ ඔෆිස් ඇරිච්ච වෙලාවට පිටකොටුව කොට්ටාව බස් එකේ ආවා වගේ. කොහොමින් හරි වෙච්ච වැඩේ දරා ගන්න නම් එච්චර ලේසි උනේ නැහැ. දම්සො පුතාත් ඇරියෙ නැහැ. මාස ගානකට පස්සෙ පොටක් පාදා ගත්තා. ප්ලේන් කොම්පනියට ලියුවා වෙච්ච කරදරේ කියලා. වැරද්ද විදියට පෙන්නලා දුන්නෙ වීසා නැතිව ලන්කාවෙන්ම නවත් වන්නෙ නැතිව අතරමගට එවීම. ඔන්න එක දවසක ප්ලේන් කොම්පැනියෙ ලොක්කෙක් කතා කරලා වැරද්ද පිලිගත්තා. නැවත වතාවක් ටිකට් දෙන්නත් පොරොන්දු උනා. දම්සො පුතාත් ඇරියෙ නැහැ. ගිය පාර වෙච්ච කරදර නිසා පොඩි දෙන්නත් එක්ක වයිෆ් තනියම ගෙන්නන්න බැහැ කිව්වා. මිනිහා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා. වැඩේ ගොඩ. ලන්කාවට ගිහින් කට්ටියව අරන් එන්න  ටිකට් එකක් දෙන්න මෑන් එකඟ උනා. ඒ පිහිටෙන් ශීත නිවාඩුවෙදි ලන්කාවට ගිහින් කට්ටියව එක්ක එන්න මටත් චාන්ස් එකක් ආවා. ලන්කාවට ගිය වෙලාවෙ චීන එම්බසිය පැත්තෙ ගිය වීසා ඔෆිස් එකේ හිටපු සින්හල ලොක්කට දෙකක් කතා කරලා එන්න. ගිහින් බැලින්නම් මාස දෙකකට කලින් ලොක්ක හාර්ට් ඇටෑක් එකකින් මැරිලා.

ඔන්න ඔහොමයි පලවෙනි වීසා අලකලන්චියෙ විස්තර. තිලක සිතගෙ කේස් එකට වඩා සෑහෙන කට්ටක් කන්න උනා.

දෙවෙනි කේස් එක 2010දි පශ්චාත් උපාධියෙ අන්තිම කෑල්ලට එන්ගලන්තෙ යන්න ගිහින්. පලවෙනි පාර සිය පවුලම එක්ක වීසා ඇප්ලයි කලා. තීරනේ ආවා වීසා රිජෙක්ට් කියලා. මේ ආකාරෙටම වීසා ඉල්ලපු හය දෙනෙකුට විතර වීසා ලැබුනා අවුරුද්ද ඇතුලත. දම්සො පුතාට විතරයි නැත්තෙ. පශ්චාත් උපාධි ආයතනෙන් තවත් ලියුන් කියුම් කිහිපයකුත් ලැහැස්ති කරගෙන දෙවෙනි වතාවටත් දැම්මා. ඒ පාරත් හුටස්. රාජකාරි කරන ආයතනෙන් දම්සො පුතාව යොමු කලා විදේශ අමත්‍යාන්ශෙට. ඒ හරහා ආපහු දැම්මා. තුන් වෙනි පාරත් බඩුම තමයි. වීසා නැකත ෆුල්ම අවුල්. විදේශ අමාත්‍යාන්ශෙ එවුන්ටත් මල පැනලා මේක  රාජ්‍යය තාන්ත්‍රික ඉෂූ එකක් කර ගත්ත. ඒ අයගෙ අදහස උනේ දම්සො පුතා 2009 ඉවර කරපු ගේමට සම්බන්ධ නිසා තමයි ප්‍රශ්නෙ කියලා. හැබැයි කෙලින්ම ඒ ගැන කතාවක් නැහැ. වෙන වෙන බොරු හේතු තමයි දුන්නෙ. කොහොම නමුත් මේක සිරා කේස් එකක් වේගෙන එන බව තේරුම් ගිය නිසා හිමීන් සීරුවෙ ඕස්ට්‍රේලියාවෙ පෝස්ට් එකක් හදා ගෙන තමයි වැඩේ ගොඩ දාගත්තේ.

ළඟදිත් ආයිත් තව කේස් එකක් උනා. ඒකත් කිව්වොත් නයා පාර දිග වැඩි වෙන නිසා ඒ ගැන නොකියා ඉදිමු. කොහොම නමුත් වීසා අලකලන්චි නම් ගොඩයි.  වීසා නැකත ෆුල්ම අවුල්.


Wednesday 31 August 2016

ඉයන්ගෙ රැල්ල

පොඩි කාලේ ගැන ලිවිල්ල පැත්තක තියලා ඉයන්ගෙ රැල්ලට එකතු වෙන්න හිතුවා. සන්ගීතෙ අබමල් රේනුවක් වත් ඇඟේ නැති වුනාට සින්දු ඇහිල්ලට ප්‍රියයි.

1. මුල්ම එක දම්සො පුතාගෙ ජාතික ගීය. සින්දුවට ගැලපෙන පින්තූරයකට මුල් පද දෙක දාලා හදා ගත්ත පෝස්ටර් එකක් දම්සො පුතාගෙ හැම ඔෆිස් කාමරේකම එල්ලුවා. කොටින්ම දකුනු සුඩානෙත්. බෝර් වල ලොක්කගෙ කාමරේ තාමත් ඒ පෝස්ටරේ ඇති කියලා තමයි හිතන්නෙ. රැල්ලට වැටිලා යන්න හිතෙනකොට මේක අහුවම ආයෙත් ලයිෆ් එක ස්ලෝ කරගන්න පුලුවන්.



2. දෙවෙනි එකත් මුල් එක කිට්ටුවෙන්ම යන එකක්. කාලෙකින් සෙට් වෙන්න බැරි එකට අනවර්තයක් විදියට කාලෙකින් මෝහෙන් මුලා වෙලා කියන්න බැරි වුනා කියලා වජිර සර් රුයි කුවේර ලෝයරයයි කියන්නෙ ඒ නිසායි.



3. පට්ට සින්දුව. හරූන් ලන්ත්‍ර මහත්තයට සලකනවා මදියි.



4. අම්ම්ල ඉන්න සින්දු අහන හැම එකාම මේකට කැමතියි. ඉතින් මමත් කැමතියි.



5. අලුත් මියුසික් කාරයා වැඩ කාරයා. 


6. සින්දුවකට කැමති වෙන්න හේතුවක් ඕනම නැහැ


7. මේ සින්දුව මුලින්ම ඇහුවේ චන්නගෙ නැටුමක් එක්ක. හිතට අල්ලන්න නැටුමත් හේතු වෙන්න ඇති



8. අමරසිරි පීරිස් ටොප් ගායකයා


9. කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා කැමති ඇති. ඊට අමතරව මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කියන පද ටික මරු


10. දම්සො දෝනි ගැනත් ගැයෙන්න එපැයි. මේ වගේ එකෙක් එක්ක සෙට් වෙච්ච එකම මැදැයි.

11. නන්දා මාලිනියත් නැතුව කොහොමද



12. කේමදාස  මාස්ටර් වගේම ටී එම් සදාකාලිකයි


13. පාදක උන චිත්‍රපටියටත් කැමතියි



14. මේවට කැමති නැත්තන් මොන්ගල් වෙන්න ඕන.



15. මේකත් මුල් සින්දු දෙකට සමානයි


16. ළඟදි තමයි මේක ඇහුවෙ. අටම්ගෙ ලිස්ට් එකෙත් තිබුනා. ලයාන්විත මූසලකම


Saturday 27 August 2016

හිච්චි පුතා

මොකක් හරි හේතුවකට පුතා කියලා ආමන්ත්‍රණය කරපු පවුලේ එකම එකා මම. පොඩි කාලේ පුතාට ඉස්සරහ කෑල්ල හි යන්නෙන් පටන් ගත්තට පසු කාලීනව ඉස්කෝලෙදි කැම්පස් එකේදි හමුදාවෙදි ඒක හු යන්නෙන් පටන් ගත්ත අවස්ථා එමටයි. අයිය නලින්, ලොකු අක්කා චම්පා. පොඩි අක්කා අවුරුදු 50ක් වෙලත් තාම බබා. සමහරුන්ට බබී. ඊලග අක්කා චන්දි. මල්ලි චූටි බබා. හය දෙනාට අමතරව තව එකෙක් උපන් ගෙයිම මලා යාන්තමින්  මතකයි. මට වඩා අවුරුදු තුනක් බාලයි. ඌ හිටියනම් හොඳ ජීවන සගයෙක් වෙන්න තිබුනා.

අපි ලොකු මහත් උනේ පටබැඳිමුල්ල කියන වෙරලබඩ ගමේ. සුන්දර වෙරළ රළු මුහුද ධීවරයො කුනුහරුප අපේ ජීවිත වලට හුගාක් සමීපයි. මුහුද මැද වෙරළට හැතැප්ම භාගයක් විතර දුරින් තිබුනු ගෙදවාන ගල හරිම සුන්දර ස්ථානයක්. වෙලාවකට ලිහිනියන්ගෙන් වැහිලා කිරිම කිරි සුදු පාටයි. ඹෝට්ටු වල නැගිලා රබර් ටියුබ් පැදගෙන ඒ ගලට යන්නෙ ලස්සන පරිසරය රසවිදින්න, මාස්ක් දාගෙන කිමිදිලා අතිශය සුන්දර කොරල් සහ වර්නවත් මාලු බලන්න වගේම ගල පුරා තිබුනු බෙල්ලෝ තම්බගෙන කන්නත් එක්කයි.

ඉලක්කම් හයක පඩියක් අරගෙනත් අග හිගකම් දැනෙන නිසා අම්මයි තාත්තයි අපිව ලොකු මහත් කලේ අමාරුවෙන් කියලා දැන් දැනුනට අපි දුප්පත් කියලා පොඩි කාලේ දැනුනෙ නැත්තෙ අපිට වඩා හුගාක් දුප්පත් මිනිස්සු අතර ජීවත් උන නිසා වෙන්න ඇති. පරම්පරාගත ප්‍රභූ වරු කීප දෙනෙක් ඇරෙන්න දැන් වගෙ බල්ලො මරලා හරි සල්ලි කාරයො වෙච්ච අය හිටියෙ නැති වීමත් එක හේතුවක් වෙන්න ඇති. සල්ලි පස්සෙ දුවන්නෙ නැතිව ලැබිලා තියෙන දේ හොඳයි කියලා හිතාගෙන සන්තෝශ වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ අග හිගකම් මැද ජීවිතේ පටන් ගත්ත නිසා කියලයි දම්සො පුතා හිතන්නේ.

අග හිගකම් වලට අමතරව අවුරුදු තුනක් වැඩිමල් නැන්දගෙ පුතෙක් හිටිය කරුමෙ නිසා දම්සො පුතාට අලුත් කමිසයක් කලිසමක් අදින්න ලැබුනෙ අවුරුද්දට විතරයි. ඌට මදි උන ඒව තමයි හැමදාම උරුම උනේ. ඌ දැන් එන්ගලන්තෙ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වරයෙක් නිසා උගෙ ඒවා ඇදීම පිලිබඳ ආඩම්බරයක් නැතිවාම නොවෙයි.

ආණ්ඩු වලින් කිව්වොත් දම්සො පුතා ඉපදුනේ ඩඩ්ලි මහත්තයගෙ අන්තිම කාලේ. ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මැතිනිගෙ අන්තිම කාලේ. ඕ ලෙවෙල් කලේ ජේ ආර් මහත්තයගෙගෙ අන්තිම කාලේ. ඒ ලෙවල් කලේ රතු සහෝදර වරුන්ගෙ කාලේ. රස්සාවට සහ විශ්ව විද්‍යාලෙට (දෙකම එක පාරට ලැබෙන්නෙ කලාතුරකින්) ප්‍රේමදාස මහත්තයගෙ අන්තිම කාලේ. තාත්තා කෙනෙක් උනේ චන්ද්‍රිකා නෝනගෙ අන්තිම කාලේ. විශේෂඥ උපාධිය ගත්තෙ මහින්ද මහත්තයගෙ අන්තිම කාලේ. බ්ලොග් ලියන්න පටන් ගත්තෙ සිරිසේන මහත්තයගෙ කාලේ.

මැතිනිගෙ කාලේ ආච්චි එක්ක සතොසෙ කරවල පෝලිමේ හිටිය පරම්පරාවෙ එකෙක් වීම දම්සො පුතාට ආඩම්බරයක්. ඊට අමතරව තව පෝලිමක ඉන්න උනේ එම් ඕ එච් කන්තෝරුව ලඟ හිටපු නිසා. අම්බලන්ගොඩ ඥාති සනුහරේම බඩ දරු අම්මලාට ක්ලිනික් නොම්බර ගන්න.

පොඩි කාලේ හිටපු හොඳම යාලුවා තමයි රන්ජි නොහොත් චමින්ද විජේපාල. දැන් ඔහු ඉතිරිකිරීමේ බැන්කුවේ මැනේජර් මහත්තයෙක්. අල්ලපු ගෙදර හිටිය නිසා  යාලු කම් වැඩි උනා. ඇස් පෙනීම හොඳටම අඩුයි. කොච්චර අඩුද කියනවනම් ඉන්ජිනේරු පීඨෙට තේරුනාට ඇස් පෙනීම අඩු නිසා විද්‍යා පීඨෙට උනා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආනන්දෙට ගියත් නිවාඩු කාලේ යාලු කම පවත්වාගෙන ගියා. අනිත් යාලුව හරිසිරිත්. නියම නම හර්ෂජිත් උනාට එයාගෙ ආච්චි කියන විදියටම හරිසිරිත් උනා. අජිත්,ලලිත්, ශාන්ත ඇතුළු තව රාශියක් හිටියා. ලොකුම වැඩේ ක්‍රිකට් තමයි. අදටත් ජීවිතේ ප්‍රධාන කොටසක් වෙන ක්‍රිකට් වලටඇබ්බැහි උනේ තාත්තා නිසා. දැන් වගෙ ටීවී නැති නිසා අමාරුවෙන් ශෝර්ට් වේව් එකේ කොමෙන්ට්‍රි අහන තරන් උනක් තාත්තටත් ක්‍රිකට් වලට තිබුනා. මල රෑ රේඩියෝ එකේ අසූ තුනේ ඉන්දියවයි වෙස්ට් ඉන්ඩීසුයි වර්ල්ඩ් කප් ෆයිනල් එක ඇහුවා මතකයි.

ටින් හත කැඩීම, හැන්ගිමුත්තන්, රවුන්ඩර්ස් අනිකුත් ක්‍රීඩා. ඊට අමතරව ගෑනු පිරිමි මල් පලතුරු, ගාලු පාරේ වාහන ගනන් කිරීම එකතැන ඉඳගෙන කරන ක්‍රීඩා.

දම්සො පුතාගෙ නොහොත් හිච්චි පුතාගෙ පොඩි කාලේ ගෙවුනෙ ඔන්න ඔය විදියට තමයි. තව බොහෝ දේ මතකෙට එන විදියට ඉස්සරහට ලියමු.

Friday 26 August 2016

පුන්චිම කාලේ


බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට මුල් අඩිතලම වැටුනේ කවිඳුගෙ වැඩ  දැක්ක කාලේ ඉඳලා වුනාට වැඩේ කෙරෙන විදිය දැනගත්තෙ මාතලන්ගෙන්. ස්තුතිය් මාතලන්.
 https://plus.google.com/u/0/+MaathalanPriyanthaHewage/posts
https://plus.google.com/u/0/+kawindujayasinghe/posts
පලමු පොස්ට් එකෙන් ජීවිතේ මුල මතක හරිය ආවර්ජනය කරන්න උත්සාහ කරන්න හිතුනා. මට ජීවිතේ මුලින්ම මතක පටබැඳිමුල්ලේ පාලිත කඩේ ඉස්සරහ ගෙදර. විශාල ගෙයක්. ඉස්සරහ අරලිය ගහක් තිබුනා. පිටි පස්සේ ලිඳක් තිබුනා. ගෙදර පවුල් දෙකක් හිටියා. අනික් පවුලේ කෙනෙක් තමයි  කාල්ටන් නීතීඥ මහත්මයා. ඉස්සරහ මිඳුලේ ක්‍රිකට් ගහපු හටි, අරලිය ගහේ නැගලා ගාලු පාරේ වාහන ගනන් කරපු හැටි හොඳට මතකයි. අපි හිටියේ කුලියට. ගේ අයිති කරුනා ආච්චිට. කරුනා ආච්චි අපේ හිච්චි අම්මාගේ නැන්දම්මා. ගමට හිටිය ගිනි පොලී කාරි.

ඒ ගෙදර මතක තියෙන විශේෂම සිඳුවීම තමයි ලිඳේ වැටීම. පොඩි අක්කා එක්ක නාන්න ගිහින් ලිඳේ වැටිලා පහල ගෙඳර අය්යා කෙනෙක් ලිඳට බැහැලා තමයි ගොඩට ගත්තේ. එදා තමයි බොහෝ වාර ගනනක් අතුරින් පලමු පාරට ජීවිතේ බේරුනේ. 

දම්සො පුතාගෙ පවුල සුලු පටු නැහැ. දරුවෝ හය දෙනයි. ඊට අමතරව ආච්චියි, තව ඥාතියො කීපදෙනෙකුයි. මේ ගෙදර නම් පොඩිම එකා හිටියෙ නැහැ

ඒ ගෙදරින් පස්සේ තවත් ගෙදරක හිටියා මතකයි. ඒ ගෙදර අයිතිකාරි මේරි ආච්චි. ඊටත් පස්සේ තමයි දම්සො පුතාලගෙ කියලා අම්බලන්ගොඩ හැමෝම හිතන් ඉන්න පටබැඳිමුල්ලේ ගල ඉස්සරහ ගෙදරට ආවෙ. 1976 මට මතක විදියට. හැබැයි මේ ගේත් දම්සො පුතාලගෙ නෙවෙයි. ඒක අයිති උනෙ දම්සො පුතාගෙ හිච්චි අම්මට. අවුරුඩු විස්සක් විතර දම්සො පුතාගෙ ජීවිතේ ගෙවුනෙ මේ ගෙදර තමයි.

පවුලෙ විස්තර ටිකකුත් මේ ගමන්ම කිවුවොත් හොඳයි කියලා තිතුනා. තාත්තා මහාමාර්ගෙ ඔවර්සියර් කෙනෙක්. හොඳ සමසමාජ කාරයා. ඒ කාලේ රතු ෂර්ට් එක ඇඳගෙන මැයි දිනේට යන හැටි තාම මතකයි.  අම්මා ගෙදර. අම්මා ජාතික නැටුම් කන්ඩායමේ සාමාජිකාවක් විදියට හිටියා කියලා දම්සො පුතා අහලා තියෙනවා. යුරෝපෙ එහෙමත් සන්චාරය කලාලු. පවුල බරවැඩි නිසා අම්මා කුලියට ඇඳුම් මැහුවා. ලොකු අක්කා දක්ශ ඇඳුම් මහන්නියක් උනෙ ඒ ආභාශයෙන් කියලා තමයි කියන්නෙ.

පොඩි කාලේ විස්තර හුඟාක් තියෙන නිසා මුල්ම පොස්ට් එකට බර වැඩි වෙයි. දම්සො පුතා කෝඩුකාරයා නිසා අඩුපාඩු වලට සමාවෙන්න ඕනේ. ඉතිරි විස්තර හිමීට ලියන්න බලමු.