Wednesday 31 August 2016

ඉයන්ගෙ රැල්ල

පොඩි කාලේ ගැන ලිවිල්ල පැත්තක තියලා ඉයන්ගෙ රැල්ලට එකතු වෙන්න හිතුවා. සන්ගීතෙ අබමල් රේනුවක් වත් ඇඟේ නැති වුනාට සින්දු ඇහිල්ලට ප්‍රියයි.

1. මුල්ම එක දම්සො පුතාගෙ ජාතික ගීය. සින්දුවට ගැලපෙන පින්තූරයකට මුල් පද දෙක දාලා හදා ගත්ත පෝස්ටර් එකක් දම්සො පුතාගෙ හැම ඔෆිස් කාමරේකම එල්ලුවා. කොටින්ම දකුනු සුඩානෙත්. බෝර් වල ලොක්කගෙ කාමරේ තාමත් ඒ පෝස්ටරේ ඇති කියලා තමයි හිතන්නෙ. රැල්ලට වැටිලා යන්න හිතෙනකොට මේක අහුවම ආයෙත් ලයිෆ් එක ස්ලෝ කරගන්න පුලුවන්.



2. දෙවෙනි එකත් මුල් එක කිට්ටුවෙන්ම යන එකක්. කාලෙකින් සෙට් වෙන්න බැරි එකට අනවර්තයක් විදියට කාලෙකින් මෝහෙන් මුලා වෙලා කියන්න බැරි වුනා කියලා වජිර සර් රුයි කුවේර ලෝයරයයි කියන්නෙ ඒ නිසායි.



3. පට්ට සින්දුව. හරූන් ලන්ත්‍ර මහත්තයට සලකනවා මදියි.



4. අම්ම්ල ඉන්න සින්දු අහන හැම එකාම මේකට කැමතියි. ඉතින් මමත් කැමතියි.



5. අලුත් මියුසික් කාරයා වැඩ කාරයා. 


6. සින්දුවකට කැමති වෙන්න හේතුවක් ඕනම නැහැ


7. මේ සින්දුව මුලින්ම ඇහුවේ චන්නගෙ නැටුමක් එක්ක. හිතට අල්ලන්න නැටුමත් හේතු වෙන්න ඇති



8. අමරසිරි පීරිස් ටොප් ගායකයා


9. කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා කැමති ඇති. ඊට අමතරව මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කියන පද ටික මරු


10. දම්සො දෝනි ගැනත් ගැයෙන්න එපැයි. මේ වගේ එකෙක් එක්ක සෙට් වෙච්ච එකම මැදැයි.

11. නන්දා මාලිනියත් නැතුව කොහොමද



12. කේමදාස  මාස්ටර් වගේම ටී එම් සදාකාලිකයි


13. පාදක උන චිත්‍රපටියටත් කැමතියි



14. මේවට කැමති නැත්තන් මොන්ගල් වෙන්න ඕන.



15. මේකත් මුල් සින්දු දෙකට සමානයි


16. ළඟදි තමයි මේක ඇහුවෙ. අටම්ගෙ ලිස්ට් එකෙත් තිබුනා. ලයාන්විත මූසලකම


Saturday 27 August 2016

හිච්චි පුතා

මොකක් හරි හේතුවකට පුතා කියලා ආමන්ත්‍රණය කරපු පවුලේ එකම එකා මම. පොඩි කාලේ පුතාට ඉස්සරහ කෑල්ල හි යන්නෙන් පටන් ගත්තට පසු කාලීනව ඉස්කෝලෙදි කැම්පස් එකේදි හමුදාවෙදි ඒක හු යන්නෙන් පටන් ගත්ත අවස්ථා එමටයි. අයිය නලින්, ලොකු අක්කා චම්පා. පොඩි අක්කා අවුරුදු 50ක් වෙලත් තාම බබා. සමහරුන්ට බබී. ඊලග අක්කා චන්දි. මල්ලි චූටි බබා. හය දෙනාට අමතරව තව එකෙක් උපන් ගෙයිම මලා යාන්තමින්  මතකයි. මට වඩා අවුරුදු තුනක් බාලයි. ඌ හිටියනම් හොඳ ජීවන සගයෙක් වෙන්න තිබුනා.

අපි ලොකු මහත් උනේ පටබැඳිමුල්ල කියන වෙරලබඩ ගමේ. සුන්දර වෙරළ රළු මුහුද ධීවරයො කුනුහරුප අපේ ජීවිත වලට හුගාක් සමීපයි. මුහුද මැද වෙරළට හැතැප්ම භාගයක් විතර දුරින් තිබුනු ගෙදවාන ගල හරිම සුන්දර ස්ථානයක්. වෙලාවකට ලිහිනියන්ගෙන් වැහිලා කිරිම කිරි සුදු පාටයි. ඹෝට්ටු වල නැගිලා රබර් ටියුබ් පැදගෙන ඒ ගලට යන්නෙ ලස්සන පරිසරය රසවිදින්න, මාස්ක් දාගෙන කිමිදිලා අතිශය සුන්දර කොරල් සහ වර්නවත් මාලු බලන්න වගේම ගල පුරා තිබුනු බෙල්ලෝ තම්බගෙන කන්නත් එක්කයි.

ඉලක්කම් හයක පඩියක් අරගෙනත් අග හිගකම් දැනෙන නිසා අම්මයි තාත්තයි අපිව ලොකු මහත් කලේ අමාරුවෙන් කියලා දැන් දැනුනට අපි දුප්පත් කියලා පොඩි කාලේ දැනුනෙ නැත්තෙ අපිට වඩා හුගාක් දුප්පත් මිනිස්සු අතර ජීවත් උන නිසා වෙන්න ඇති. පරම්පරාගත ප්‍රභූ වරු කීප දෙනෙක් ඇරෙන්න දැන් වගෙ බල්ලො මරලා හරි සල්ලි කාරයො වෙච්ච අය හිටියෙ නැති වීමත් එක හේතුවක් වෙන්න ඇති. සල්ලි පස්සෙ දුවන්නෙ නැතිව ලැබිලා තියෙන දේ හොඳයි කියලා හිතාගෙන සන්තෝශ වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ අග හිගකම් මැද ජීවිතේ පටන් ගත්ත නිසා කියලයි දම්සො පුතා හිතන්නේ.

අග හිගකම් වලට අමතරව අවුරුදු තුනක් වැඩිමල් නැන්දගෙ පුතෙක් හිටිය කරුමෙ නිසා දම්සො පුතාට අලුත් කමිසයක් කලිසමක් අදින්න ලැබුනෙ අවුරුද්දට විතරයි. ඌට මදි උන ඒව තමයි හැමදාම උරුම උනේ. ඌ දැන් එන්ගලන්තෙ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වරයෙක් නිසා උගෙ ඒවා ඇදීම පිලිබඳ ආඩම්බරයක් නැතිවාම නොවෙයි.

ආණ්ඩු වලින් කිව්වොත් දම්සො පුතා ඉපදුනේ ඩඩ්ලි මහත්තයගෙ අන්තිම කාලේ. ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මැතිනිගෙ අන්තිම කාලේ. ඕ ලෙවෙල් කලේ ජේ ආර් මහත්තයගෙගෙ අන්තිම කාලේ. ඒ ලෙවල් කලේ රතු සහෝදර වරුන්ගෙ කාලේ. රස්සාවට සහ විශ්ව විද්‍යාලෙට (දෙකම එක පාරට ලැබෙන්නෙ කලාතුරකින්) ප්‍රේමදාස මහත්තයගෙ අන්තිම කාලේ. තාත්තා කෙනෙක් උනේ චන්ද්‍රිකා නෝනගෙ අන්තිම කාලේ. විශේෂඥ උපාධිය ගත්තෙ මහින්ද මහත්තයගෙ අන්තිම කාලේ. බ්ලොග් ලියන්න පටන් ගත්තෙ සිරිසේන මහත්තයගෙ කාලේ.

මැතිනිගෙ කාලේ ආච්චි එක්ක සතොසෙ කරවල පෝලිමේ හිටිය පරම්පරාවෙ එකෙක් වීම දම්සො පුතාට ආඩම්බරයක්. ඊට අමතරව තව පෝලිමක ඉන්න උනේ එම් ඕ එච් කන්තෝරුව ලඟ හිටපු නිසා. අම්බලන්ගොඩ ඥාති සනුහරේම බඩ දරු අම්මලාට ක්ලිනික් නොම්බර ගන්න.

පොඩි කාලේ හිටපු හොඳම යාලුවා තමයි රන්ජි නොහොත් චමින්ද විජේපාල. දැන් ඔහු ඉතිරිකිරීමේ බැන්කුවේ මැනේජර් මහත්තයෙක්. අල්ලපු ගෙදර හිටිය නිසා  යාලු කම් වැඩි උනා. ඇස් පෙනීම හොඳටම අඩුයි. කොච්චර අඩුද කියනවනම් ඉන්ජිනේරු පීඨෙට තේරුනාට ඇස් පෙනීම අඩු නිසා විද්‍යා පීඨෙට උනා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආනන්දෙට ගියත් නිවාඩු කාලේ යාලු කම පවත්වාගෙන ගියා. අනිත් යාලුව හරිසිරිත්. නියම නම හර්ෂජිත් උනාට එයාගෙ ආච්චි කියන විදියටම හරිසිරිත් උනා. අජිත්,ලලිත්, ශාන්ත ඇතුළු තව රාශියක් හිටියා. ලොකුම වැඩේ ක්‍රිකට් තමයි. අදටත් ජීවිතේ ප්‍රධාන කොටසක් වෙන ක්‍රිකට් වලටඇබ්බැහි උනේ තාත්තා නිසා. දැන් වගෙ ටීවී නැති නිසා අමාරුවෙන් ශෝර්ට් වේව් එකේ කොමෙන්ට්‍රි අහන තරන් උනක් තාත්තටත් ක්‍රිකට් වලට තිබුනා. මල රෑ රේඩියෝ එකේ අසූ තුනේ ඉන්දියවයි වෙස්ට් ඉන්ඩීසුයි වර්ල්ඩ් කප් ෆයිනල් එක ඇහුවා මතකයි.

ටින් හත කැඩීම, හැන්ගිමුත්තන්, රවුන්ඩර්ස් අනිකුත් ක්‍රීඩා. ඊට අමතරව ගෑනු පිරිමි මල් පලතුරු, ගාලු පාරේ වාහන ගනන් කිරීම එකතැන ඉඳගෙන කරන ක්‍රීඩා.

දම්සො පුතාගෙ නොහොත් හිච්චි පුතාගෙ පොඩි කාලේ ගෙවුනෙ ඔන්න ඔය විදියට තමයි. තව බොහෝ දේ මතකෙට එන විදියට ඉස්සරහට ලියමු.

Friday 26 August 2016

පුන්චිම කාලේ


බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට මුල් අඩිතලම වැටුනේ කවිඳුගෙ වැඩ  දැක්ක කාලේ ඉඳලා වුනාට වැඩේ කෙරෙන විදිය දැනගත්තෙ මාතලන්ගෙන්. ස්තුතිය් මාතලන්.
 https://plus.google.com/u/0/+MaathalanPriyanthaHewage/posts
https://plus.google.com/u/0/+kawindujayasinghe/posts
පලමු පොස්ට් එකෙන් ජීවිතේ මුල මතක හරිය ආවර්ජනය කරන්න උත්සාහ කරන්න හිතුනා. මට ජීවිතේ මුලින්ම මතක පටබැඳිමුල්ලේ පාලිත කඩේ ඉස්සරහ ගෙදර. විශාල ගෙයක්. ඉස්සරහ අරලිය ගහක් තිබුනා. පිටි පස්සේ ලිඳක් තිබුනා. ගෙදර පවුල් දෙකක් හිටියා. අනික් පවුලේ කෙනෙක් තමයි  කාල්ටන් නීතීඥ මහත්මයා. ඉස්සරහ මිඳුලේ ක්‍රිකට් ගහපු හටි, අරලිය ගහේ නැගලා ගාලු පාරේ වාහන ගනන් කරපු හැටි හොඳට මතකයි. අපි හිටියේ කුලියට. ගේ අයිති කරුනා ආච්චිට. කරුනා ආච්චි අපේ හිච්චි අම්මාගේ නැන්දම්මා. ගමට හිටිය ගිනි පොලී කාරි.

ඒ ගෙදර මතක තියෙන විශේෂම සිඳුවීම තමයි ලිඳේ වැටීම. පොඩි අක්කා එක්ක නාන්න ගිහින් ලිඳේ වැටිලා පහල ගෙඳර අය්යා කෙනෙක් ලිඳට බැහැලා තමයි ගොඩට ගත්තේ. එදා තමයි බොහෝ වාර ගනනක් අතුරින් පලමු පාරට ජීවිතේ බේරුනේ. 

දම්සො පුතාගෙ පවුල සුලු පටු නැහැ. දරුවෝ හය දෙනයි. ඊට අමතරව ආච්චියි, තව ඥාතියො කීපදෙනෙකුයි. මේ ගෙදර නම් පොඩිම එකා හිටියෙ නැහැ

ඒ ගෙදරින් පස්සේ තවත් ගෙදරක හිටියා මතකයි. ඒ ගෙදර අයිතිකාරි මේරි ආච්චි. ඊටත් පස්සේ තමයි දම්සො පුතාලගෙ කියලා අම්බලන්ගොඩ හැමෝම හිතන් ඉන්න පටබැඳිමුල්ලේ ගල ඉස්සරහ ගෙදරට ආවෙ. 1976 මට මතක විදියට. හැබැයි මේ ගේත් දම්සො පුතාලගෙ නෙවෙයි. ඒක අයිති උනෙ දම්සො පුතාගෙ හිච්චි අම්මට. අවුරුඩු විස්සක් විතර දම්සො පුතාගෙ ජීවිතේ ගෙවුනෙ මේ ගෙදර තමයි.

පවුලෙ විස්තර ටිකකුත් මේ ගමන්ම කිවුවොත් හොඳයි කියලා තිතුනා. තාත්තා මහාමාර්ගෙ ඔවර්සියර් කෙනෙක්. හොඳ සමසමාජ කාරයා. ඒ කාලේ රතු ෂර්ට් එක ඇඳගෙන මැයි දිනේට යන හැටි තාම මතකයි.  අම්මා ගෙදර. අම්මා ජාතික නැටුම් කන්ඩායමේ සාමාජිකාවක් විදියට හිටියා කියලා දම්සො පුතා අහලා තියෙනවා. යුරෝපෙ එහෙමත් සන්චාරය කලාලු. පවුල බරවැඩි නිසා අම්මා කුලියට ඇඳුම් මැහුවා. ලොකු අක්කා දක්ශ ඇඳුම් මහන්නියක් උනෙ ඒ ආභාශයෙන් කියලා තමයි කියන්නෙ.

පොඩි කාලේ විස්තර හුඟාක් තියෙන නිසා මුල්ම පොස්ට් එකට බර වැඩි වෙයි. දම්සො පුතා කෝඩුකාරයා නිසා අඩුපාඩු වලට සමාවෙන්න ඕනේ. ඉතිරි විස්තර හිමීට ලියන්න බලමු.