Tuesday, 6 September 2016

ණය ගෙවීම - 1

ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක් හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.

ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක් අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, පොලොවට පස් වෙන මව් බිම වෙනුවෙන් තියෙන ණය. ඒ ණය සුලුවෙන් හරි ගෙවන්න දම්සො පුතාට ඉඩක් නිර්මාණය වෙන්නෙ අවාසනාවන්ත යුද්ධය නිසා වීම අවාසනවක්. ඒ අවාසනාවන්ත වේදනාත්මක අත්දැකීම සටහන් කරන්නයි උත්සාහ කරන්නේ. 

යුද හමුදාවට බැදුනේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා. හෙදර ඉතාමත් අකමැත්ත මත. එක් වරක් පමණක් ඒ ලෙවල් විභාගය කිරීම සහ ඒ දිනවල තිබිච්ච දැඩි ජීවිත අවදානම තමයි ප්‍රධාන විරෝධතා. හමුදාවට බැදෙන්න ප්‍රධාන හේතුව වුනෙත් ඒකම තමයි. ඒක තමයි දෙවන වර ඒ ලෙවල් කිරිල්ලෙන් ගැලවීම  සහ කැම්පස් ගිහින් තව අවුරුදු ගානක් කුණ කන්න තිබුනු අකමැත්ත. ඊට අමතරව කීයක් හරි අතට ගන්න තිබුනු ආශාව, යුනිෆෝර්ම් එකක් අදින්න තිබුනු ආශාව වගේ අවශේෂ හේතුත් තිබුනා. කැම්පස් නොය ඉදීමේ බලාපොරොත්තුව නම් ඉෂ්ට වුනේ නැහැ. හමුදාවට බැදෙද්දි විශ්ව විද්‍යාලෙ නීති පීඨෙට තේරිලා තිබුනත් කොහොමින් හරි අන්තීමේදි වෛද්‍ය පීඨෙටම යන්න වුනා. සරලව කිව්වොත් දම්සො පුතා මෙඩිසින් ගියේ ලකුනු අඩුවෙන්. හැබැයි එහෙම වුනාට එකම වතාවක් වත් එකම විෂයක් වත් අසමත් නොවී වෛද්‍ය උපාධිය ගත්තා විතරක් නොවෙයි විශේෂඥ්‍ය සුදුසුකමුත් අර ගෙනයි නතර වුනේ. ඒ හින්දා දොස්තර කෙනෙක් කිරීම පිලිබඳ ණයකුත් හමුදාවට ගෙවන්න ඉතුරු වුන. ඒ ණයත් යම් තරමින් හරි ගෙව්වා කියලයි දම්සො පුතා හිතන්නෙ. 

විභාග පාස් වීම සම්බන්ධයෙනුත් පොඩි කතාවක් මතක් වුනා. වැඩිය ක්‍රෑම දැමීමක් නැති නිසාත්, ලෙක්චර්ස් යනවට වඩා කලේ වැල්ලමඩමේ ජිම් එකේ සෙල්ලම් කරපු එක නිසාත් හැමදාම රිපීට් එග්සෑම් එකේ රිසල්ට්ස් දීපු දවසට මේ පාර ගොඩද කියලා සින්නොයි ජුන්නොයි දෙගොල්ලොම අහනකොට තමයි මල පැන්නේ. 

කොහොමින් හරි ණය ගෙවීම ආරම්භ කලේ ඉගෙන ගන්න කාලේමයි. කැම්පස් ගියේ බූස්සේ කෑම්ප් එකේ ඉදන්. ඒ කාලේ  යුද බිමේ මිය ගිය දකුණු පලාතේ සෙබලුන්ගෙ  මල සිරුරු ගෙනාවේ ඒ කෑම්ප් එකට. සමහර දවස් වලටහිබුනු වැඩ ප්‍රමාණය කෑම්ප් එකේ හිටපු නිලධාරින්ට කරගන්න බැරි උන නිසා කැම්පස් යෑම පැත්තකින් තියලා බොඩීස් අරගෙන ගෙවල් වලට භාර දෙන්න ගියා. මේක තමයි ජීවිතේ කරපු අප්‍රසන්නම රාජකාරිය. දුප්පත් අම්මලා තාත්තලාගෙ, ආදරය කරපු මිනිස්සුන්ගෙ කදුලු හරි බරයි.

පලවෙනි වතාවට ක්‍රියාන්විතයකට සම්බන්ධ වුනෙ අවසාන විභාගෙ ඉවල කරලා වෛද්‍ය වරයෙක් වෙන්නත් ඉස්සර. විභාගෙ ඉවර වෙච්ච දවසට දවස් දෙකකට පස්සෙ කොටි යාලට, කතරගමට ගැහුවා. දකුනු පලාත් ආඥාපති බ්‍රිගේඩියර් ශ්‍රියාන් රනතුන්ගගෙ මෙහෙයවීමෙන් මෙහෙයුමක් පටන් ගත්තා. ඒ පලාතේ රාජකාරි වලට හිටියේ ඉතාම සීමිත පිරිසක් නිසා යුද, නාවික, ගුවන් හමුදා තුනේමයි සිවිල් ප්‍රදේශයක් නිසා පොලීසියෙනුයි සහභාගි වුනා. ගාල්ලේ නේවි කෑම්ප් එකෙන් බෝට්ටු වලින් යාලට ගොඩ බැස්සා. පොලිසියේ කට්ටියට බැක් පැක්ස් නොතිබුනු නිසා සමහරු ශොපින් බෑග් වල බඩු දාගෙන ගියේ. ඒ නිසා ඔපරේෂන් ශොපින් බෑග් කියලා නමකුත් පටබැන්දා මේකට. මේක නිසා යාල කැලේ බ්ලොක් ටූ එකේ පයින් ඇවිදින්නත් චාන්ස් එකක් ලැබුනා. ඔපරේෂන් එක අවසාන වුනේ එකම උන්ඩයක් වත් පත්තු නොකර. කොටි කලින්ම පැන ගිහින්. කොටි තිප්පොලවල් විනාශ කරන්නත්, පහරදීම් වලට සම්බන්ධ වුනු ගන්ජා සහ පොකිරිස්සන් ජාවාකරුවන් අත් අඩන්ගුවට ගැනුනා. සතියකින් විතර වැඩේ ඉවර වුනාට දම්සො පුතාට ආපහු එන්න ලැබුනේ නැහැ. යාල කතරගම ආරක්ෂාවට කුඩා කදවුරු පිහිටෙව්වා. දම්සො පුතාටත් සිතුල් පව්වෙ මූලික කදවුරේ ටික දවසක් ඉන්න අන ලැබුනා. සිතුල් පව්වේ පන්සලේ ලොකු හාමුදුරුවො ඇසුරු කරන්නත් අවස්ථාවක් උදා වුනා. කෑම්ප් එක භාරව හිටියෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ ලුතිතන් ඉන්දික ජයවීර.

මෙහෙම ඉන්න අතරෙදි තමයි අවසාන විභාගෙ ප්‍රතිඵල නිකුත් උනේ. ආරන්චි වුනේ නම නැහැ කියලා. සාමාන්‍යයෙන් නම නැහැ කියන්නේ සබ්ජෙක්ට් ඔක්කොම ඇණ. මේ පාර නම් බඩු තමයි. කෝකටත් රිපීට් එකට සෙට් වෙන්න හිත හදා ගෙන ආපහු ඇවිත් ෆැකල්ටියට ගිහින් බැලුවම තමයි හිත කූල් වුනේ. බැලින්නම් ලයිබ්‍රි පොතක් රිටර්න් නොකිරීමට රිසල්ට්ස් අත් හිටුවලා. රිසල්ට්ස් නිකුත් කරන්න කලින් පනිවිඩේ කියන්න නොන් ඇකඩමික් කට්ටිය ෆුල් ට්‍රයි කරලා. ඒ වුනාට දම්සො පුතා යාල කැලේනේ.

අවසාන විභාගෙත් කොහොමින් හරි ගොඩ දාගෙන ගිහින් රිපොර්ට් කරා කියමුකෝ. ජය සිකුරු එකේ හොඳම කාලේ. එකෙක් ආවත් රත්තරන් වටිනවා. ආපු දවසට පස්සෙන්දම දම්සො පුතා උඩ දාලා පයින් ගැහුවා. වැටුනේ ඕමන්තෙට. යුද බිමේ මුල්ම රැය ගෙවුනෙ ඕමන්තේ ඉස්කෝලෙ ලඟින් ඇතුලට යන පාරෙ අටවපු ටෙන්ට් එකක. මුලු සේනාන්කෙටම එකම දොස්තර. සහායට හෙදවරු , අනික් අය පහලොවක් විතර, ඇම්බියුලන්ස් එක තමයි නිල රථය. ඉන් පස්සෙ අවුරුදු ගානක් ජීවිතේ වැඩිපුර ගෙව්වෙ මේ පසුබිමේ.

ගියපු පලවෙනි දවසෙම තුවාල කාරයො එන්න පටන් ගත්තා. කොලඹින් එනකොට ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලදාරින් දීපු අවවාද හුඟාක් ප්‍රයෝජන වුනා වැඩේ අල්ලගන්න. සහයකයො ගැනනම් කියන්න වචන නැහැ. තුවාල කාරයො ගෙනාවහම මුලු සැරහුම් මඩ්‍යයස්ථානෙම කඩි ගුල වගේ. ඇම්බියුලන්ස් රියදුරා දවසට සිය සැරයක් හරි වවුනියාවට ඉගිලෙන්න ලැහැස්තියි. අපි යවන්නේ වවුනියාවට එතනින් තමයි අනුරාධපුරේට අමාරුම අය ඕමන්තෙන්ම චොපර් එකට. තුවාල කාරයොන්ට අමතරව සාමාන්‍ය ලෙඩ්ඩු දවසකට සීයක් විතර. මැලේරියාව දරුණුවටම. දම්සො පුතාට තුන් සැරයක් හැදිලා තියෙනවා. 

මෙහෙම සතියක් විතර ඉන්න කොට කොලඹින් නියෝගයක් ආවා ඕලුමඩු යන්න. හේතුව ඕලුමඩු වලට ගියපු චොපර් එකකට ගහලා බිම දාලා. ඒ එක්කම ගහපු ආටිලරි පාරකට එතන හිටපු කැප්ටන් සන්ජීව දොඩන්ගොඩගෙ සබ්බ සකලමනාවම ඉවරයි. හට් එක උඩටම ආටියක් වැටිලා. බන්කරේකට රින්ග ගත්ත නිසා ජීවිතේ බේරිලා තියෙන්නෙ. ඇඳන් හිටපු කලිසමයි ෂර්ට් එකයි විතරයි ඉතුරු. ඕලුමඩු කෑම්ප් එක මේන් ෆ්‍රන්ට් ලයින් එකෙන් හැතැප්ම විසි දෙකක් විතර උඩින් තිබුනු හුදකලා කදවුරක්. චොපර් එකට ගහපු නිසා යන්න පුලුවන් එකම ක්‍රමය ට්‍රැක්ටර් විතරයි. මඩ නිසා වෙන වාහන යන්න බැහැ. කෝප්‍රල් පෙරේරා එක්ක හවස තුනට විතර ඕලුමඩු යන්න ට්‍රැක්ටර් එකට ගොඩ වුනා. ටික දුරක් යනකොට ට්‍රේලර් එක ජොයින්ට් එකෙන් ගැලවිලා පෙරේතය පොලොවෙ ගැහුවා වගේ ඔක්කොම මඩේ. මඩ නාගෙන පයින් ඇද්දා හැතැප්ම දොලහක් විතර. ගිහින් පස්සෙන්දා උදෙන්ම සන්ජීවව කොලඹ පිටත් කලා යුනිෆොර්ම් එකක් එහෙම හොයලා දීලා. ඕලුමඩු එම් ඩී එස් එකත් ටෙන්ට් එකක තිබුනේ. ආරක්ෂාවට විශාල බන්කරයක් තිබුනා. නිදා ගත්තෙ ලී කෝටු වලින් හදපු මැස්සක.

ඕලුමඩු වලට ගිහින් දෙවෙනි දවසේ තමයි මුල්ම චෙස්ට් ටියුබ් එක දැම්මේ. ඒකෙන් කෙරෙන්නේ පෙනහැල්ල අතරට බැහැලා තියෙන ලේ ඉවත් කරන එක. එහෙම කලේ නැත්නම විනාඩි ගානක් තුල මිය යන්න පුලුවන්. ඒක තයි යුද බිමේ වෛද්‍ය වරු ඉන්න එකේ වැදගත් කම.දම්සො පුතා චෙස්ට් ටියුබ් එකක් දාලා ජීවිතේ බේරුන බ්‍රිගේඩියර් අතුල මාරසින්හ කියන විදියට දියේ ගිලිල මැරෙන්න යන දරුනු වේදනාවක්ලු ඇති වුනේ. සාමාන්‍යයෙන් මේව කරන්නේ ශල්‍ය වෛද්‍යවරු එහෙම නැත්නම් අත්දැකීම් තියෙන අය ශල්‍යාගාර වල. සති දෙකේ දොස්තර කැලේ මැද ටෙන්ට් එකක. කොහොම හරි වැඩේ ගොඩ දාගෙන කොල්ලගෙ පන බේරගත්තා. උද්ව්වට හිටිය නර්ස් සාජන් හෙට්ටිආරච්චිත් මතක් කල යුතුමයි.

ඕලුමඩු ජීවිතය හරිම කටුකයි. වැසිකිලි ගියේ පිකස් එක අරන් කැලේට. කෑම ආවේ ඉදලා හිටලා. ප්ලේන් වරින් එයාර් ඩ්‍රොප් කරොත් තමයි. සමහර ඒවා වැටෙන්නේ කොටින්ගෙ පැත්තට. හුඟක් දවසට පරිප්පුයි හාල්මැස්සොයි බතුයි. නාන්න පාප්පමොටෙයි හන්දියට යන්න ඕන නනා ඉන්න කොට ආටි ගැහැවුවොත් මඩ වලට පනින්න ඕන. කොල්ලො නිවාඩු යන්නෙ පයින් හැතැප්ම 22ක් පොම්පෙමඩු වලට ගිහින්. දම්සො පුතාට නම් ඒ ප්‍රශ්නෙ නිකම්ම විසදුනා. පාර්ට් එකක් දාපු ලොක්කගෙ ගෝලයෙකුට කුනුහරුපෙන් බැනලා පන්න ගත්ත වැරැද්දට මාස දෙකහමාරක් නිවාඩු නැතිව ඉන්න වුනු නිසා. හැබැයි මොරාල් එකෙ අඩුවක් තිබුනේ නැහැ. ආටි අස්සෙම චොපර් පෑඩ් එකේ ක්‍රිකට් ගැහුවා. කොල්ලොන්ගෙ ජාතික ක්‍රීඩාව පෝටර් ගැසීම ඉදලා හිටලා හොරෙන් ලක්ෂ ගාණක් වටින තේක්ක බන්කරේට වෙලා හීනියට අඩියක් ගැසීම (නිවාඩු ගිහින් එන එවුන් හොරෙන් මැදවච්චියෙන් පන්න ගත්තොත් තමයි ඒකත්) මේවා තමයි විනෝදාන්ශ.. ඕලුමඩු කෑම්ප් එකේ හිටපු අනදෙන නිලදාරි ලුතිතන් කර්නල් රුවන් කුලතුන්ග, එස් එෆ් එකේ මේජර් දම්මි හේවගේ, මේජර් මහින්ද රනසින්හ, මගේ බැච් මේට් කැප්ටන් පැරකුම්, මේජර් ලසන්ත පෙරේරා මතක් නොකොලොත් අඩුවක්. රෑ දවල් නැතිව තුවාල කාරයෝ ඒ මදිවට මැලේරියවයි හෙපටයිටිසුයි වැහි වැහැලා. තනි දොස්තර.

ඔන්න ඔය විදියට තමයි ණය ගෙවීමෙ ආරම්භෙ. අවුරුදු 19ක් 20ක් විතර කතාව යන නිසා මතකෙ හිටිය වැදගත් කොටස් විතරක් ඊළඟට ලියන්න බලමු. නයා පාරක් කියලා හිතුනු අය ඊළඟ කොටස් නොකියෙව්වට කිසිම තරහක් නැහැ. 


29 comments:

  1. ඔබේ අත්දැකීම් වචන කරලා තියෙන විදිහ හරිම රසවත්, ඉතිරි කොටසත් කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නවා ...

    ReplyDelete
  2. අන්න සැබෑ දොස්තර මහත්වරු! මේ වගේ ලිපි කියවන එකත් ගෞරවයක්!

    මාත් අවුරුදු 25ක් හමුදාවක සිටිය කෙනෙක්. හැබැයි, වාසනාවකට වාගේ කවදාවත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නැහැ, මා සිටිය හමුදාවේ කාර්ය භාරය වෙනස් එකක් නිසාත්, මගේ කාර්යයන් වෙනස් දේ වූ නිසාත්. මගේ ඉල්ලීම - මේ වගේ දේ දිගටම ලියන්න, අනිකුත් දොස්තරලාටත් ආදර්ශයක් වෙන්න.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. යුද්දෙ වැඩ කල සිවිල් දොස්තරලා රාශියක් හිටියා. ලන්කාවේ දක්ෂම ශල්‍ය වෛද්‍ය වරු සියලු දෙනාම වගේ පලාලි හමුදා රෝහලේ වැඩ කලා. අනුරාධපුර මහ රෝහලේ කල කාරයය අති මහත්. ඒ වගේමයි කොලඹ මහ රෝහල, නුවර, ජයවර්දනපුර,පොලොන්නරුව වගේ මෙකී නොකී තැන් වල සිටි සියලුම කාර්ය මන්ඩලය දිවා රෑ නොබලා වැඩ කලා.

    ReplyDelete
  4. 'මෙන්න බලාගනියව් සල්ලි වලට, පඩිය බලාගෙන වෙඩි තියන්න යන කොල්ලො ආතල් ගන්න හැටි' කියල කියලම හොම්බට ඇනල පෙන්නන්න හිතෙනවා මේ අත්දැකීම්.
    ඔබ සිත්ගන්නා සිළු ආකාරයට ලියනවා.
    අපි ඔබලාට ඇති ණය නම් කිසිදා නිම නොවේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්බටත් බොහොම ස්තුතියි. මම දොස්තර කෙනෙක් නිසා මෙපනටවත් සැප පහසු කම් තිබුනා. ලයින් එකේ හිටපු කොල්ලො අන්ත දුක් වින්දා. ඒ විතරක් නොවෙයි ජීවිත අනතුර ඉතාම දරුනුයි. ඔවුන් ගැන කවුරුන් හෝ මතු පරපුරට ලියා තැබිය යුතුයි කියලයි මම හිතන්නේ. එස් එෆ් එකේ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රනසින්හ පොතක් ලිව්ව. ඒ පොතේ ඔවුන්ගේ වික්‍රම ලස්සනට ලියලා තියෙනවා. ඊයෙ ජෙනරල් කමල් ගුනරත්න පොතක් පිට කලා.
      ඒ ගැන නම් හරි විස්තරයක් තාම දන්නේ නැහැ

      Delete
  5. //කොහොමින් හරි ණය ගෙවීම ආරම්භ කලේ ඉගෙන ගන්න කාලේමයි. කැම්පස් ගියේ බූස්සේ කෑම්ප් එකේ ඉදන්. ඒ කාලේ යුද බිමේ මිය ගිය දකුණු පලාතේ සෙබලුන්ගෙ මල සිරුරු ගෙනාවේ ඒ කෑම්ප් එකට. සමහර දවස් වලටහිබුනු වැඩ ප්‍රමාණය කෑම්ප් එකේ හිටපු නිලධාරින්ට කරගන්න බැරි උන නිසා කැම්පස් යෑම පැත්තකින් තියලා බොඩීස් අරගෙන ගෙවල් වලට භාර දෙන්න ගියා. මේක තමයි ජීවිතේ කරපු අප්‍රසන්නම රාජකාරිය. දුප්පත් අම්මලා තාත්තලාගෙ, ආදරය කරපු මිනිස්සුන්ගෙ කදුලු හරි බරයි.// අපිත් එක්ක එකට හොස්ටල් හිටපු කාලේ සිදුවීම් නේද? ඒ කාලේ කිසිම ශිෂ්‍යයෙක් අනෙකා මොන තරම් දේවල් වල යෙදිලා ඉන්නවද කියන එක සාකච්චා කිරීමක් නොවෙන නිසා හැමෝම හිතන් හිටියේ "දම්සෝ" ෆුල් ආතල් එකේ සෙල්ලම් කර කර ඉන්න පොරක් කියලා.. තමන්ගේ කෝස් එකේ බැරෑරුම් කමත් , එක එක කල්ලි කණ්ඩායම් , බොරු දේශපාලන දැක්මවල් ආදියෙන් අන්ධ වී තමන් වැනිම තවත් මානවකයෙකු ගේ කටුක/බැරෑරුම් ජිවිත පිළිබද සංවේදී නොවන අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මේවා හොඳ පාඩම් ... අපි දෙන්නම මේවා ලියන එක හොඳයි .. ඔය හොස්ටල් වල සිටි "බොරු කාඩ් බෝඩ් වීරයෝ .. //අද ඔවුන් ඉන්නා තැන්.. කාරනා දේවල් දිහා බැලුවම ඇත්ත මිනිස්සු කව්ද කියලා තේරෙනවා// මේවා දැන ගන්න එක හොඳයි.... උඹ අන්තිමට ලියු දුප්පත් මිනිස්සුනේගේ දරුවන් ගේ මළමිනී ගෙදරට ගෙනියන අවස්ථාව මට මැවිලා පෙනෙනවා "අපේ මල්කා ( අම්මාගේ පොඩිම නංගි ) ඉතා තරුණ අවධියේ වැන්දඹුවක් වූ අවස්තාව /මම එතකොට හතරවෙනි අවුරුද්දේ / මතක් වෙනවා. ඒ ශෝචනීය අවස්ථාව බ්ලොග් පොස්ට් එකකට ගන්නවද කියලයි හිත හිතා ඉන්නේ...දිගටම ලියපන් මචං...

    ReplyDelete
    Replies
    1. කවිඳුට ස්තුතියි සියලු දිරිගැන්වීම්වලට. ඔඹේ පුන්චි අම්මා වැනි අම්මලා සොයුරියන් දාස් ගාණක් මේ රටේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, යුද බිමේ තුවාල වෙලා ආබාධිත උනු දාස් ගාණක් ඉන්නවා. පූර්ණා ආබාධිත රැක බලා ගන්න ලෝකේ කොහේවත් නැති වැඩ පිලිවෙලක් පටන් ගන්න අත හිත දෙන්න දම්සො පුතාටත් අවස්ථාවක් ලැබුනා. ඒ තමයි සුව සහන මධ්‍යයස්ථාන. අත්තිඩියේ මිහිඳු සෙත් මැදුර, අනුරාධපුරේ කඹුරුපිටියේ පාන්ගොල්ලේ අභිමන්සලවල්. ලන්කාවට ආපු වෙලාවක ගොඩ වෙලා යන්න. මේ වෙලාවේ අපේ රුවන් ජයතුන්ගටත් ලන්කාවෙ හිටිය නම් ලොකු වැඩක් කරන්න තිබුනා.

      Delete
  6. Replies
    1. ඔබ මේ පිලිබඳව කොතරම් සන්වේදීදැයි මා දන්නවා. රටේ අවාසනාවට ඔබව අහිමි උනා. ලන්කාවෙ බමුනු කුල වල වැඩක් කල හැකි අයට තැන අඩුයි. ඔබේ විෂයතුල මා කල දෑ දැක ඇතැයි හිතනවා.
      https://www.researchgate.net/publication/235630130_Cross-cultural_and_factorial_validity_of_PTSD_check_list-military_version_PCL-M_in_Sinhalese_language

      Delete
  7. මේ වගේ දොස්තරල තමයි දොස්තරල. කාර් පර්මිට් එකට දේශපාලන නිවට කමට වැඩ කරන අයට දම්සො පුතා හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ලන්කාවේ දොස්තරලා කොය්තරම් සේවයක් කරනවද කියන එක අවාසනාවට කාර් පර්මිට් එකෙන් වැහිලා තියෙන්නේ. මම එක අවුරුද්දක් අනුරාධපුර මහ රෝහලේ වැඩ කරලා තියෙනවා. රෝහල් කාර්යය මන්ඩලය කරන කැපවීම හොදටම දැක්කා. ඒ එක්කම කොන්දොස්තර කමට වත් (කොන්තොස්තර මහත්වරුන්ට අපහාස කරනව නොවෙයි ) වටින්නැති එවුනුත් ඉන්නවා. ඒකට හේතුව ලෙස මම දකින්නේ අපේ වෛද්‍ය පීඨ වල මිනිස්සු නොමිනිස්සු කරන ඉගැන්වීම් ක්‍රමය.

      Delete
  8. රෙස්පෙක්ට්! අපේ කතාව නිසා බොක්කටම දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. නේවි එකෙත් හොඳ පොරක් හිටියා ජය සිකුරු කාලේ. නමුත් ඕනම කෙනෙක් මොන රාජකාරිය කරත් මූලිකව හොඳ සොල්දාදුවෙක් වෙන්න ඕන හමුදාවෙ ඉන්නවනම්. විනය අත්‍යාවශ්‍යයි. එයාට වැරදුනේ එතැන.
      ඔබ වැනි අය මුහුදේ කල වික්‍රමයන් ගැනත් ලියන්න. රවී සොයිසා සෑහෙන ලියා තියෙනවා. සුනාමියෙන් මිය ගිය සාරනාත් ද සිල්වා දම්සො පුතාගෙ ක්ලාස් මේට් කෙනෙක්. ඔහුගෙ වික්‍රම ගැනත් ලියන්න. නිෂාඩ්, දීපාල් සිල්වාත් මතක් වෙනවා.

      Delete
    2. Dear Damso putha, Pls send me ur email address

      sidathcbk@gmail.com

      Delete
  9. සේවයට වගේම ලිවිල්ලටත් මගේ ආචාරය .!

    ReplyDelete
  10. අපූරු ලියවිල්ල.

    අපිත් රන බිමේ ඔබලා එක්ක හිටියා වගේ දැනෙන්න ලියා තියෙනවා.

    කවුරු කොහොම කිව්වත් රැකියාව සල්ලි බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තිය බලාගෙන කරන මිනිස්සුත් ඉන්නවා කියලා මම ගොඩක් අය එක්ක රන්ඩු කරගන්නේ ඔබලා වගේ මිනිස්සු සෑහ්න දෙනක් මටත් මුන ගැහිලා තියෙන නිසයි .

    ජය

    ReplyDelete
    Replies
    1. මම වගේම හුඟ දෙනෙක් හමුදාවට බැඳුනේ අගහිඟකම් නිසා. උතුරන්න සල්ලි තිබුනනම් එහෙම හිතක් පහල වෙන එකක් නැහැ. සල්ලි තියෙන මිනිස්සු රට ගැන හිතුවනම් අපිට මෙහෙම වෙන එකක් නැහැ

      Delete
  11. ඔබට බොහොම ස්තූතියි..
    //ඇම්බියුලන්ස් රියදුරා දවසට සිය සැරයක් හරි වවුනියාවට ඉගිලෙන්න ලැහැස්තියි //

    අන්න මිනිස්සු !!

    ඔය අනුරාධපුරේ එයාපෝට් එක ළඟ මං හිටියා..අනුරාධපුරේ කනත්තෙ හෙල්මට් එක්ක සිරුරු කොටස් වලලන්න මං වලවල් කපලත් තියනවා..චොපරෙකෙන් ගේන බොඩීස් ටාට ලොරියෙන් හොස්පිට්ල් ගෙනාවම අපිත් දුවල යනව ළඟක හිටියොත්..අපේ කොල්ලො නේද කියලා.ඒත් ඒක දැක්කම සංසාරෙ එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕක අපිට විතරක් සීමා උනේ නැහැ. දෙමල ජනතාව නොවිදිනා දුක් වින්දා. ඔවුන් ගැනත් හිතමු. මම මිහිපිට අපාය දැක්කෙ තාන්ඩිකුලමෙදි. නමුත් ලෝක සෞඛ්‍ය සන්විධානේ අනතුරු අඟවපු විදියට මහ වසන්ගත නැතිව ඒ මහ ජන ගඟ බලා ගන්න ලන්කාවෙ සෞඛ්‍ය අමාත්‍යාන්ශය සමත් උනා. ඒකෙත් කොටස් කාරයෙක් වෙන්න ලැබීම ගැන සතුටුයි.

      Delete
  12. අපුරු විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  13. ලස්සනයි , ආසයි කල්යාන මිත්තරයා වාගේ නවතින්න එපා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සින්ඩියට එකතු කලාටත් එක්කම

      Delete
  14. Saveen, oyage blog eka adai dekke.Eka sanwedi ayata hungak danawana liyawillak.Anika commentswalata oya dena medihath uththarath hondai.Man oyage gathiguna danna nisa eka mata pudumayak newei.-Dehin aiya

    ReplyDelete
  15. ස්තුතියි දේහින් අය්යේ. ඔබ වැන්නෙක් ගෙ අගය කිරීම ඉතා වටිනවා. බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තොත් හුඟාක් වටීවි. කවි එහෙම එක්ක, යම් කිසි මග පෙන්වීමක් අවශ්‍ය නම් පහල ලින්ක් එකට යන්න. (අයිතිකාරයාගෙන් අහන් නැතිවයි දැම්මේ. )
    https://atampahura.blogspot.co.uk/2016/08/how-to-write-sinhala-blog-1.html
    මෑතකදී තමයි ලියන්න පටන් ගත්තෙ. කොතෙක් කල් කරන්න ලැබේවිද කියලා සැකයකුත් පහල වෙලා තියෙන්නෙ.

    ReplyDelete