Friday 23 December 2016

පුතා ආපහු යන්න












වැහි බීරුම ටික ටික අඩු වෙනවා. පොඩි කාලෙ ඉඳලා ලෝර්ඩ්ස් ගැන අහල තිබුනට මෙහෙම මැච් එකක් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැනෙ. තව පොඩ්ඩෙන් ඒ හීනෙ වැස්සට හේදෙනවා. 

දකුනු පැත්තෙ ස්ටෑන්ඩ් එකේ ලන්කාවෙ කට්ටිය පිරිලා. තමන්ගෙ උපන් රට ගැන තියෙන කැක්කුමනෙ. නැත්නම් සඳුදා දවසෙ වැස්සට මැච් එක හේදෙන බව දැන දැන ටෙස්ට් මැච් එකක් බලන්න කවුද එන්නෙ. මට නම් ඉතින් රට ජාතිය කොහොම උනත් මේකට එන්න ලැබෙන අන්තිම චාන්ස් එකනෙ. හොඳ තැනක් බලල වාඩි වෙන්න ඕනෙ. වැස්ස නැවතුනාට මැච් එක පටන් ගන්න පැයක්වත් යයි. ග්‍රවුන්ඩ්ස්මන්ලා බරටම වැඩ. පිට්ටනියෙ අයිනටම වෙන්න ටීම් දෙකම ප්‍රැක්ටිස්. කාලෙකින් ලන්කාවෙ කට්ටිය හැබැහින් දැක්කෙ. එන්ගලන්තෙ එවුන් නම් පලවෙනි පාරට.

"පුතා ලන්ඩන්මද ඉන්නෙ" අම්මට සිරි වයසක ලොක්කෙක්. මැච් එක පටන් ගන්නකම් කම්මැලි කමට කියාපු බුවා.
"නෑ අන්කල් බ්‍රිස්ටල් ඉඳන් ආවෙ. මීට කලින් ලෝර්ඩ්ස් ඇවිත් නැති නිසා ආවෙ"
"මමනම් පුතා ලන්කාවෙ ටීම් එක ගහපු හැම මැච් එකක්ම බලන්න ආවා. සිදත් එක සිය අනූව ගහපු දවසෙත් මම බැලුවා. ඒකෙ දුලිප්ගෙ ගැහිල්ල තමයි මරු. සුද්දොන්ට බඩ යන්න දුන්නෙ."
"මට මතකයි අන්කල්. එතකොට අපි පොඩියි."

"මෙහේ ඇවිත් හුඟාක් කල්ද?"
"නෑ අන්කල් ලඟදි ආවෙ. අපි අවුරුදු දෙකෙන් ආයි යන්න හිතන් ඉන්නෙ."
"ඇයි පුතා යන්නෙ. එහෙ දැන් ගන්න දෙයක් නැහැ. කවදාවත් හැදෙන පාටකුත් නැහැනෙ. මෙහෙ ඒවගෙද. ලමයින්ටත් හොඳටම හොඳයිනෙ."
"ඒවුනාට අන්කල් අපිට එහෙ වගෙ හරි යන්නෑ කොහේවත්. දුක් වින්දත් තමන්ගෙ තැනනේ කියල හිතෙනවා. අනික අම්මලා නෑදැයො එහෙමත් ඉන්නවනෙ."
"මමනම් කියන්නෙ මෝඩ වෙන්න එපා ලමයො. සැපට ඉන්න පුලුවන් එකෙ මොකටද දුක් විදින්නෙ. ගියායින් පස්සෙ අපරාදෙ කියලා හිතෙයි."

"දැන් බලන්න පුතා මම මෙහේ ආවෙ 1970. ඒ කාලෙ වීසා ඕනෙත් නැහැ. එයාර්පොර්ට් එකෙන් ඔන් අරයිවල් වීසා දුන්නා. කොමන්වෙල්ත් එකෙනේ. මම වැඩ කලේ මවුන්ට් ලැවීනියා සෙන්ට් තෝමස් එකෙ. මෙහෙත් අවුරුදු තිස් ගාණක්ම උගන්නලා තමයි පැන්ෂන් ගියේ. නෝනත් ටීචර්. අපි ඉතින් කොල්ලො දෙන්නට හොඳට ඉගැන්නුවා මෙහේ ආපු එකෙන්."
ඉතින් අන්කල් එහෙත් හොඳට ඉගෙන ගන්න බැරි නැහැනේ."
"ඒක නම් එහෙම තමයි. ඒත් මෙහෙ වගෙ නැහැනෙ."

මැච් එකත් පටන් ගත්තා. දිමුත් කරුනාරත්න මේකෙවත් කීයක්වත් ගැහුවොත් හොඳයි. හීනියට සින්හල සින්දුවකුත් පටන් අරන්. සුරන්ගනීට මාලු ගෙනවා. ලන්කාවෙ ජාතික ගීය වගේ තමයි. 

මැච් එක බලන අතර තුරේ අන්කල්ගෙ ජීවිත කතාව දිග ඇරෙනවා. සෑහෙන කාලෙකින් කතාවට කෙනෙක් අහුවෙලා තියෙන්නෙ මට හිතෙන්නෙ. එයාගෙ නෝනා සුනීතා එක්ක ලන්කාවෙන් ආපු හැටි. ලස්සන කොලු පැටව් දෙන්නා ටික ටික ලොකු වෙලා හොඳ රස්සාවල් වලට ගියපු හැටි. ලන්කාවෙ යාලුවො. නිව්සීලන්ඩ්වල ඉන්න අය්යා.
"ඉතින් පුතා. දැන් වගේ නෙවේ ඒ කාලේ හරි ශෝක්. දැන් මෙහෙත් එක එක ජාතියෙ උන් ඇවිත් හරි ප්‍රශ්න. හොඳ වෙලාවට බ්‍රෙක්සිට් එක ආවෙ."

ෂික් ආයිත් වැස්ස. කමක් නැහැ ලෝර්ඩ්ස් බලාගත්තනෙ. පැයක්වත් යයි ආයි පටන් ගන්න. එතකන් අන්කල්ගෙ කතාවෙ පිහිට තමා. "අන්කල් තව පයින්ට් එකක් අරන් එන්නද අන්කල්ටත් එක්ක. කොහොමත් පැයක් වත් යයි වගේ."

"පුතා මගේ පුතෙක්වගෙ දැනුන හින්දයි මේ කියන්නෙ. පුතාට කියන්න මමයි සුනීතයි දැන් ඉන්නෙ හරිම දුකෙන්. අපි දෙන්නට අපි දෙන්න විතරයි. පුතාලට වැඩ වැඩියි. එක් කෙනෙක් ඉන්නෙ ස්ටේට්ස්වල."

අන්කල්ගෙ මූන ලන්ඩන් අහස වගේම අඳුරුයි. මෙච්චරවෙලා හරිම සන්තෝසෙන් තමන්ගෙ ජීවිතෙ ජය ගත්ත හැටි කිව්ව මනුස්සයා එක පාරටම වෙනස් වෙලා.

"පුතාල බැදලද අන්කල්?"
"ලොක්කා බැන්දා. දෙවනියා බදින්නෙ නෑලු. ගෑනු ලමයි දෙන්නෙක් දෙපාරකට එක්ක ආවා. එයාගෙ පාට්නර් කියලා තමයි අපිට අදුන්නලා දුන්නෙ. පුතාට කියන්න මගේ ලොකු පුතා බැඳපු දවස තමයි මගෙයි නෝනගෙයි ජීවිතේ දුකම දවස."

එක දවසක් ලොකු පුතා මට කතා කරලා කිව්වා "Daddy I am getting married. I have posted an invitation for you. Be there with mummy please"කියලා.
ලෝකෙ කොහේ හිටියත් මගේ පුතාගෙ මගුල් ගෙදර ගැන ලොකු හීනයක් අපි දෙන්නටම තිබුනා. මොනවා කරන්නද. වෙඩින් එකට කලින් දවසෙ මොටෙල් එකක කාමරයක් බුක් කරලා අපි දෙන්නා ට්‍රේන් එකට නැග්ගා බර්මින්හැම් යන්න. සුනීතගෙ ඇස්වල කඳුලු. කෝච්චි ගමන පුරාවට මට පෙනුනෙ මගෙ පුතාගෙ වෙඩින් එක. 

මගුල් ගෙදරට කලින් දවසෙ අපේ දෙහිවල ගෙදර නෑදැයො පිරිලා. මම හෝටලේට ගිහින් අන්තිම වැඩ ටික මැනේජර් එක්ක කතා කරගෙන ආවෙ. පුතා මල්ලියි බෙස්ට්මනුයි තව යාලුවො කට්ටියයි එක්ක ඇඳුම් ලෑස්ති කරනවා. අය්යයි මස්සිනාල දෙන්නයි කාලෙකින් සෙට් උනේ. හීනියට අඩියක් පටන් ගත්තා. බයිට් එකට නෝනගෙ අක්ක ගාල්ලෙන් ගෙනාව මාලු ඇඹුල් තියලුයි පපඩනුයි. පරණ කාලෙ කතා ඔක්කොම එක එක දිග ඇරෙනවා. මස්සිනා ටිකක් එහාට මෙහාට වෙච්ච වෙලාවෙ අක්කගෙ කොල්ලට හිමීට ෂොට් එකක් දීගත්තා. තාත්තා ඉස්සරහ ඌ තාම බොන්නෙ නැහැනෙ.
කුස්සියෙ ගෑනුන්ගෙ කතාව හරි සැරටම. සුනීතා හරිම සන්තෝසෙන්. "අක්කට කියන්න අපේ පුතා අහු උනානෙ එක පාරක් නියම නැට්ටිච්චියෙකුට. මම හොඳවයින් දෙකක් ගෙදරට ගිහින් කතා කරලා තමයි මෙයාව ගලව ගත්තෙ ඒකෙන්. අපරාදේ කියන්න බැහැ කොල්ල කියන දේ ඇහුවා. මේ ගෑනු ලමයා නම් හම්බු උනේ අපේ වාසනාවට. හෙට බලා ගන්නකෝ. සීදෙවි ලමයා."

කෝච්චිය කොලපාට තණබිම ඉරාගෙන ඇදෙනවා. සුනීතා මට නොපෙනෙන්න හිමීට කඳුලු පිහිදානවා. අපි රෑ හෝටලේ නතර වෙලා උදේ වෙඩින් එකට ගිහින් කෙලින්ම කෝච්චියෙන් ගෙදර ආවා. ඔන්න ඔහොමයි පුතේ මගෙ ලොකු පුතාගෙ වෙඩින් එකෙ විස්තරේ.

"පස්සට හරි යයි" අන්කල්ගෙ හිත හැදෙන්න කිව්වට ඒක මෙතනට ගැලපෙන්නෙ නැහැ වගේ.

කුසල් මෙන්ඩිස්ගෙන් ජෝ රූට්ට හයේ එකක්. ලන්කාවෙ ඊලඟ අරවින්ද. පැය භාගයක් විතර මායි අන්කලුයි කතාවක් නැතිවම මැච් එක බැලුවා. කතා කර ගන්න බැරි තරමට දෙන්නගෙම හිත් බර වෙලා. 
ආයිත් වැස්ස. මේ පාර නම් කෝල්ඩ් ඕෆ් පාටයි. 

"අන්කල් අපි යමු නේද"
"හා පුතා. පුතා හම්බ වෙච්ච එක ලොකු දෙයක්. කාලෙකින් හිතේ හැටියට කතා කරා. නැත්නම් මගේ කතා අහල සුනීතටත් එපා වෙලා."

ටියුබ් ස්ටේෂන් එකට යනකනුත් අන්කල් මාත් එක්ක ඇවිදන් ආවා. සමු ගන්න වෙලාව.

"අන්කල් තාමත් මට කියන්නෙ මෙහේ නවතින්න කියලද"

"නැහැ පුතේ. පුතා ආපහු යන්න."

Thursday 8 December 2016

අසෝකද හරි මැල්කම්ද

මැල්කම් රන්ජිත් තුමාගෙ වැඩේ ගැන මට තියෙන පැහැදීම තමයි අපේ හාමුදුරු ගොල්ලො කරන විකාර එක්ක බැලුවම එතුමා ඉතාම සාධනීය හැසිරීමක් පෙන්නුම් කලා. දැන් අශෝක අලුත්ම මානයක් එක් කරනවා. අනේ මන්දා.

//මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.
මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි.
පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.
නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.
මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. ‘බැලුම්ගල හෙලිදරුවෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි’ කියා නෙත් ප්‍රවෘති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය
– අශෝක හඳගම//