Monday, 19 September 2016

විඳින්නට සිතන්නට




http://varunamultimedia.com.au/videos/btv/vmtube/ridee-tharaka-music/sihinayaki-re_-18-09-16/play.html?1

මේ වැඩ සටහන නරඹන්නට මම ඔබට ආරාධනය කරමි. මේ දියනියට මම හිස නමා ආචාර කරමි. ඇය මට බොහෝ දේ සිහියට ගෙන එයි. 

ඕස්ට්‍රලියාවේ සිටින මගේ එක් ඥාති සහෝදරයෙක් ඔහුගේ පුතුන් දෙදෙනා හදා වඩා ඇත්තේ සින්හල වචනයක් හෝ ඔවුන් නොදන්නා ලෙසටය. එහි කිසිම වරදක් නැත. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින මගේ අනිත් ඥාති සොයුරිය නිමාලි අක්කාගේ උසස් පෙල පන්තියේ සිටින පුතුන්ට නිවෙසින් නික්ම යන කොට වඳින්නට උගැන්වීම සතුටු දනවන කාරණයකි.. අපේ ලමයින් ගෙදරදී ඉන්ග්‍රීසියෙන් කථා නොකිරීම ගැන මගේ බිරිඳගේ විශාල කනගාටුවක් තිබිණි. නමුත් අද මගේ දියනිය ගෙදරදී සින්හලෙන් කථා කරන අතර විදුහලේ ඉන්ග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වීම ගැන අප දෙදෙනාම සතුටු වන්නෙමු.

ප්‍රන්ශයේ ඉපදී ප්‍රන්ශයේ හැදුනු වැඩුනු ඇයගේ ගායනය අපට විදින්නට යමක් ලබා දෙයි. නාරද විජේසූරිය  අපිට අප ගැන අපේ රට ගැන සිතන්නට බොහෝ දේ ගෙන එයි.

Friday, 16 September 2016

කිල්ලෝටය පිරිසිදුද (කාගෙ කාගෙත්)

මේ දවස් වල නැගලා යන කේස් එක ගැන හිතට ආපු ගොන් කතා ටිකක් ලියන්න හිතුනා. ලන්කාවේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන අතිවිශිෂ්ඨ සේවය උන් කරන අනිකුත් ගොන් වැඩ නිසා වැහිලා යන එක ඉතාම අවාසනාවන්තයි. මේකට පාදක වෙච්ච ලමයි ඇතුලත් කිරීමේ මැටි මෝල් ක්‍රමවේදයෙන් අපෙ රටේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයත් කෙලෙසෙන එකත් අවාසනාවක්.

දොස්තර වරු තමන්ගේ ලමයින්ට හොඳ පාසැලක් ඉල්ලීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ. බලපුලුවන්කාරයන්, පන්දම් අල්ලන් සහ හොර ලියකියවිලි හදන්නන් ලමුන් ඇතුලත් කරන් ක්‍රමයක් රටේ නිර්මාණය වී තිබීම තුල දොස්තර වරුන්ද තමන්ගෙ ලමයින් හොඳ පාසැලකට ඇතුල් කිරීමට උත්සාහ කිරීම සාධාරණයි. දොස්තරලා ලමයින් දා ගැනීමේ වැරදි දකින බොහෝ අය තම ලමයා දා ගත් ආකාරයත් හෘද සාක්ෂියෙන් විමසුවොත් හොඳයි කියලයි හිතෙන්නෙ.

හොඳ පාසැලකට ලමයි ඇතුලත් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. එන්ගලන්තයේ දෙමව්පියන් ග්‍රැමර් ස්කූල් විභාගය සදහා ලමුන් දක්කා ගෙන යන අයුරු පසු ගිය දිනවල සියැසින් දැක්කා. අවුරුදු ගනන් ඒ සදහා ටියුෂන් යැවීම තියෙන්නේ ලන්කාවෙ විතරක් නොවෙයි. ඕනෑම දෙමව්පියෙක් තමන්ගෙ ලමයට හොඳම අධ්‍යාපනය දෙන්න උත්සාහ කිරීම හෙන ගහන අපරාධයකුත් නෙවෙයි.

නමුත් මේ ප්‍රශ්නය මුල් කරගෙන ස්ට්‍රයික් කිරීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක්. දොස්තරවරු තමන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගන්නේ මෙතැනදි.

දොස්තරවරුන් ස්ට්‍රයික් කිරීමට පෙර හදාගත යුතු වැරදි ගොන්නක් තියෙනවා. ඒ සදහා වෛද්‍ය සන්ගමය මැදි හත් වෙලා තියෙනවා කවදාවත් දැකලා නැහැ.

පලවෙනි දේ තමයි වෛද්‍යවරුන් වැඩි පිරිසක් කොලඹට කේන්ද්‍රගත වීම. ලන්කාවෙ සිටින මුලු වෛද්‍යවරුන්ගෙන් කොලඹ දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රතිශතය හරියටම කියන්න දන්නෙ නැති වුනාට එය 30% කට ආසන්න අගයක් වෙනවා කියල තමයි මම හිතන්නෙ. මේකට ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල කොලඹට ආසන්න ප්‍රදේශ වල අයත් එකතු කලාම අඩුම තරමින් 40% ඉක්මවනවා. එහෙම නියම අවශ්‍යතාවයක් තියෙනව නම් ගැටලුවක් නැහැ. නමුත් මෙයින් වෙලා තියෙන්නෙ වෛද්‍යවරු නිකම් ඉන්න ප්‍රමාණය වැඩිවීම. සිදුවිය යුත්තේ පිරිස වැඩි වුනාම රෝගී සත්කාර වල ගුනාත්මක භාවය වැඩි වීම වුනාට එහෙම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත්, සමහර රෝහල් වල පැය හයේ ෂිෆ්ට් එක දෙකට බෙදා ගෙන පැය තුන බැගින් වැඩ කරන්නේ. දෙදෙනාම පැය හයම වැඩ කලානම් රෝගියෙකු වෙනුවෙන් වැය කරන කාලය වැඩි කරන්න පුලුවන්.

කෙනෙකුට තර්ක කරන්න පුලුවන් වැඩ අඩු නිසා එක් කෙනෙක් හිටිය ඇති කියලා. නමුත් රජයේ සේවකයෙක් ලෙස එසේ කිරීම වරදක්. අනිත් එක තමයි වැඩ අඩුයි කියන්නේ දොස්තරලා දෙන්නෙක් එතැනට අවශ්‍ය නැහැ කියන එක. මේ තත්වයට වෛද්‍ය සන්ගමය වගේම සෞඛ්‍ය අමාත්‍යයන්ශයත් වග කිව යුතුයි. අත්සන් කිරීමට විරුද්ධ මේ හින්දා තමයි.

අනිත් කාරණය තමයි ඉවක් බවක් නැතිව තම දැනුම ගණිකා වෘත්තියේ යොදවමින් කරන පෞද්ගලික වෛද්‍ය ජාවාරම. ප්‍රසිද්ධියේ බෝඩ් ගහල තියෙනවා. උදේ 7 සිට 8 ටත්. හවස 4 සිට රෑ එකොලහ දොලහ වෙනකනුත් ඇරලා තියෙනවා කියලා. එතකොට මේ අය අටට වැඩට යන්නෙත් හතරට එන්නෙත් එර්දියෙන්ද කියන ප්‍රශ්නෙත් එනවා. මෙයින් තේරෙන්නෙ රජයේ නීති රීති තමන්ට අදාල නැහැ කියන උද්දච්ච කම ඇරෙන්න වෙන මොනවත් නෙවෙයි. මේ තැන් වලදි රෝගීන්ට සිද්ද කරන හිපොක්‍රටීස්වත් කෙලසන තුට්ටු දෙකෙ වැඩ ගැන දොස්තර කෙනෙක් විදියට ලියන්න ලැජ්ජ නිසා ඒ ගැන නොලියා ඉඳිමු. ඒ අතරම ඉතා සාධාරන විදියට අති මහත් සේවයක් තම පෞද්ගලික වෛද්‍ය ස්ථාන වලින් ඉටු කරන පිරිස අතිමහත්. නරුමයන් කිහිප දෙනෙක් පමනයි ඉන්නෙ. නමුත් මේ දේවල් නියාමනය කරන්න වෛද්‍ය සන්ගමය වත් අමාත්‍යන්ශයවත් ක්‍රියාශීලී නොවීම හරිම කණගාටුදායකයි.

අද වෛද්‍යවරුන්ට එල්ල වෙන විරෝධයට අසාධාරන ලමයි ඇතුලත් කිරීමේ ඉල්ලීම වගේම මේ කාරණා සියල්ලම බලපානවා කියලා තමයි හිතෙන්නෙ. ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ.


ලමයි ඇතුලත් කිරීමේ ප්‍රශ්නයට ගන්න පුලුවන් සාධනීයම පියවර ලෙස මම දකින්නේ ප්‍රාථමික පාසල් ද්විතීයික පාසල් වලින් වෙන් කිරීමයි. බොහෝ රටවල පාසල් පද්ධතිය සකස් වෙන්නේ මේ විදියට. මේකෙන් ආදි ශිෂ්‍ය මාෆියාවටත් උත්තරයක් හම්බ වෙනවා. මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.

Monday, 12 September 2016

They will bring you sweets


කවිඳු ගෙ පවුල ගෙන්නා ගැනීමෙ  ණයට ඉල්ලා අමනාප නොවන්න පෝස්ට් එකෙන් පස්සේ මේ සිද්ධිය ලියන්න හිතුවා.කථාවෙ නිමිත්ත සමාන උනාට ඒ යටින් යන ඛේදවාචකය නම් ටිකක් controversial තේමාවක්. ජාතිවාදය අතිශය ආකර්ෂනීයයි. නැගලා යන සීන් එකක්. දම්සො පුතාගෙ අදහස නම් අපි හැමෝම කිසිම වෙනසක් නැති එකම මනුෂ්‍යය ජාතියක් කියලයි. අහම්බයක් විදියට උපතින් ලැබෙන ජාතිය ආගම නිසා අපි දුරස් වෙන එක අපිට උරුම කරපු සදාකාලික කරුමයක්. ජාතිවාදීන් මුල මැද අග නොදකින අන්ධයන් රැලක් වැනිය කියලා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හමුදුරුවෝ කියලා තියෙනවා.


ඉතින් කථාවට බහිමු. මේක සිද්ධ වෙන්නේ යුද්ධෙ නැගලම යන කාලේ. දම්සො පුතා පශ්චාත් උපාධියට තේරුනා. ඒ කණ්ඩායමට ආවා දෙමල අය හතර දෙනෙක්. මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කොලඹ ආපු පලවෙනි වතාව. එක් කෙනෙක් මුලතිව් වල ඉපදිලා යාපනේ හැදිලා වැඩිලා කොලඹ රස්සව කරපු කෙනෙක්. ඔහුට අපි ඇන්තනි කියමු. ඇන්තනි දැන් නම් ලෝක සෞඛ්‍ය සන්විධානෙ ලොක්කෙක්. අපේ කථානයකයා (එයාට අපි මුරලි කියමු ) ඇතුලු ඉතිරි තුන් දෙනාම කොලඹ ඇවිත් තියෙන්නෙ පලවෙනි වතාවට. දන්න කියන දවසේ ඉදන් ඔවුන් අහල තියෙන්නෙ සින්හල ජාතිය මිනීමරු අසමජ්ජාති ජාතියක් කියල විතරමයි.

ඔන්න කෝස් එක පටන් ගන්න දවසේ මුලින්ම තිබුනා එකිනෙකා හඳුනා ගැනීම. දම්සො පුතාත් නැගිටලා තොම්බුව කිව්වා. වැඩ කරන තැනත් කියන්න එපැයි. එදා හමුදාවෙ වැඩ කරන්නෙ කියලා කියුව වෙලාවෙ ඉඳන් අපේ යාලුවො තුන් දෙනා මූනවත් බලන්නෙ නැහැ. ඇන්තනි නම් තේ වෙලාවෙ. කෑම වෙලාවෙ ලාවට වචනයක් දෙකක් කතා කරනවා. 
ඔහොම මාසයක් විතර ගත වෙලා ගියා.

කතාවෙ ඉතුරු ටික කියන්න කලින් පස්සෙ කාලෙක මුරලි කියපු අතිශය සන්වේදී ජීවිත් අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුනා.මුරලි ඒ ලෙවල් කරලා ඉවර වුනේ රිවිරැස ඔපෙරේෂන් එක පටන් ගන්න ටික කාලෙකට කලින්. වෛද්‍ය විද්‍යාලෙට තේරිලා ඉන්න අතරතුරේ ටියුෂන් කරගෙන හිටියේ. ඒ අතරෙ යාපනේ යුද්ධෙ පටන් ගත්තා. පලවෙනි දවසෙම යාපනේ මිනිස්සු ගෙවල් අතහැරලා යන්න පටන් ගත්තා කොටින්ගෙ අන උඩ. මුරලි ටියුෂන් ඉවර කරලා ගෙදර එනකොට පවුලෙ උදවිය කිලිනොච්චි යන්න ගිහිල්ලා. මිනිස්සු කොටින්ගෙ පැත්තට පලෙයි මුර පොල හරහා කිලිනොච්චි වලටත් පේදුරුතුඩුවේ හමුදාව යටතේ තිබුනු ප්‍රදේශයටත් සම සමව ගියා. අම්මලා තියලා තිබුනු පනිවිඩේට මුරලිත් කිලිනොච්චි යන්න පලෙයි වලට එනකොට රෑ බෝ වෙලා මුර පොල වහලා. එලිවෙනකම් හිටියා උදේට එහා පැත්තට යන්න. මෙහෙම ඉන්න අතරෙදි මුරලි ටියුෂන් දෙන ගෑනු ලමයකුගෙ තාත්තා කෙනෙක් හම්බ වෙනවා. එයා ඉන්ජිනේරු මහත්තයෙක්. එයා කියනවා කැම්පස් තේරිලා ඉන්න නිසා කිලිනොච්චි යන්න එපා පේඩුරුතුඩු යන්න කියලා. හමුදාවෙන් යාපනේ අල්ල ගත්තට පස්සෙ කැම්පස් යන්න පුලුවන් නිසා. කිලිනොච්චි ගියොත් කොටි ආපහු එන්න දේවිද කියන එක සැකයක්. මුරලි ලෝක දෙකක අතරමන් උනා. අම්මලා ගාවට යන්නද මේ මහත්තයා කියන දේ අහන්නද. රෑ එලි වෙනකම් නින්දක් නැහැ හිත සැරින් සැරේ වෙනස් වෙනවා. රාත්‍රිය සෑහෙන්න දිගයි.
අවසානේ තීරනය කරනවා. පේදුරුතුඩු යන්න. පස්සෙ ඉන්ජිනේරු මහත්තය කියපු දේ සැබෑ වෙනව. මුරලි දොස්තර කෙනෙක් වෙනවා. පවුලෙ උදවිය නැවතත් යාපනේ එනවා.මුරලි කියන්නේ කිලිනොච්චි ගියානම් එය කොටියෙක් වෙලා මැරිලා යයි කියලයි. ඒ මුරලිගෙ සුඛාන්තය. අපි නොදන්නා කී දාහක් දෙමල තරුණයන්ගෙ ජීවිත ඛේදාන්තයක් වෙලා ඇතිද. යුද්ධය කොහොමත් කුරිරුයි. අපේ ඔක්කොගෙම ජීවිත කාලකන්නි කලා.

ආපහු කියාගෙන ආපු කතාවට යමු. මුරලිගෙ නෝනයි ලමයි දෙන්නයි යාපනේ තියලා තමයි කෝස් එකට ඇවිත් තියෙන්නේ. කලබලේට නියම දවසට එන්න ඕන නිසා. කට්ටියව ගෙන්න ගන්න විදියක් නැහැ යාපනේ ඉඳන් එන සිවිල් ප්ලේන් එකෙ ටිකට් ගන්න අමාරුයි. රුපියල් තුන් දාහෙ ටිකට් එක හැටදාහට කලු කඩේ විකුනන්නෙ. හැට දාහට ගන්නත් ඇඳුරුම් කම් තියෙන්න ඕන. යුද්ධය හොඳ ජාවාරමක්. මුරලි සෑහෙන ට්‍රයි එකක් දුන්නත් වැඩේ කරගන්න බැරිව මාසයකටත් වඩා ගෙවිලා ගියා. දැන් නම් මුරලි වහ බොන ගාණට ඇවිත්. බැරිම තැන ඇන්තනි කිව්වා දම්සො පුතා හමුදාවෙ නිසා එයාටවත් කියලා බලමු කියලා. මුරලි කැමති උනේම නැහැ. කොටි උගන්නපු ජාතිවාදේ තදින්ම තිබුනා. බැරිම තැන හතර දෙනාම ඇවිත් දම්සො පුතාගෙන් උදව් ඉල්ලුවා. දම්සො පුතා පොරොන්දු උනා මොනව හරි කරන්න බලන්න.

යාපනේ හිටපු සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා පොඩ්ඩක් විතර දන්න කෙනෙක්. අමාරුවෙන් ටෙලිෆෝන් කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. මෙයා අඳුරගෙන ටික කාලයයි. කිසිම විස්තරයක් දන්නෙ නැහැ. ආරක්ෂක ප්‍රශ්න නැත්නම් විතරක් පුලුවන් උදව්වක් කරන්න කියලා. නිලධරියාටත් කලින් උදව් කරලා තියෙන නිසා වැඩේ බලන්න පොරොන්දු උනා. ටිකට් කරන ඒජන්ට් ගෙන්නලා වැඩේ බලන්න කිව්වා කියන පනිවිඩේ ලැබුනා.


සති දෙකක් විතර ගියා. වැඩේ උනේ නැහැ. හමුදාවෙන් කිව්වත් වැඩේ නොකෙරෙන ගානට ටිකට් ජාවාරම තදයි. මුරලිට පිස්සු වගේ. වහ බොන ගානට කියලා ඇන්තනි කියනවා. ආපහු නිලධාරියට කතා කරලා වැඩේ නොකෙරුන බව කිව්වා. මිනිහට අසූ හාර දාහට මල පැන්නා. ඒජන්ට්ව නැවත ගෙන්නලා වැඩේ උනේ නැතිවුනොත් වෙඩි තියෙනවා කියලා තර්ජනය කලයින් පස්සෙ තමයි ටිකට් හම්බවුනේ.


මුරලි එස් එම් එස් එකක් එවනවා දම්සො පුතාට

They will bring you sweets.

Tuesday, 6 September 2016

ණය ගෙවීම - 1

ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක් හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.

ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක් අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, පොලොවට පස් වෙන මව් බිම වෙනුවෙන් තියෙන ණය. ඒ ණය සුලුවෙන් හරි ගෙවන්න දම්සො පුතාට ඉඩක් නිර්මාණය වෙන්නෙ අවාසනාවන්ත යුද්ධය නිසා වීම අවාසනවක්. ඒ අවාසනාවන්ත වේදනාත්මක අත්දැකීම සටහන් කරන්නයි උත්සාහ කරන්නේ. 

යුද හමුදාවට බැදුනේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා. හෙදර ඉතාමත් අකමැත්ත මත. එක් වරක් පමණක් ඒ ලෙවල් විභාගය කිරීම සහ ඒ දිනවල තිබිච්ච දැඩි ජීවිත අවදානම තමයි ප්‍රධාන විරෝධතා. හමුදාවට බැදෙන්න ප්‍රධාන හේතුව වුනෙත් ඒකම තමයි. ඒක තමයි දෙවන වර ඒ ලෙවල් කිරිල්ලෙන් ගැලවීම  සහ කැම්පස් ගිහින් තව අවුරුදු ගානක් කුණ කන්න තිබුනු අකමැත්ත. ඊට අමතරව කීයක් හරි අතට ගන්න තිබුනු ආශාව, යුනිෆෝර්ම් එකක් අදින්න තිබුනු ආශාව වගේ අවශේෂ හේතුත් තිබුනා. කැම්පස් නොය ඉදීමේ බලාපොරොත්තුව නම් ඉෂ්ට වුනේ නැහැ. හමුදාවට බැදෙද්දි විශ්ව විද්‍යාලෙ නීති පීඨෙට තේරිලා තිබුනත් කොහොමින් හරි අන්තීමේදි වෛද්‍ය පීඨෙටම යන්න වුනා. සරලව කිව්වොත් දම්සො පුතා මෙඩිසින් ගියේ ලකුනු අඩුවෙන්. හැබැයි එහෙම වුනාට එකම වතාවක් වත් එකම විෂයක් වත් අසමත් නොවී වෛද්‍ය උපාධිය ගත්තා විතරක් නොවෙයි විශේෂඥ්‍ය සුදුසුකමුත් අර ගෙනයි නතර වුනේ. ඒ හින්දා දොස්තර කෙනෙක් කිරීම පිලිබඳ ණයකුත් හමුදාවට ගෙවන්න ඉතුරු වුන. ඒ ණයත් යම් තරමින් හරි ගෙව්වා කියලයි දම්සො පුතා හිතන්නෙ. 

විභාග පාස් වීම සම්බන්ධයෙනුත් පොඩි කතාවක් මතක් වුනා. වැඩිය ක්‍රෑම දැමීමක් නැති නිසාත්, ලෙක්චර්ස් යනවට වඩා කලේ වැල්ලමඩමේ ජිම් එකේ සෙල්ලම් කරපු එක නිසාත් හැමදාම රිපීට් එග්සෑම් එකේ රිසල්ට්ස් දීපු දවසට මේ පාර ගොඩද කියලා සින්නොයි ජුන්නොයි දෙගොල්ලොම අහනකොට තමයි මල පැන්නේ. 

කොහොමින් හරි ණය ගෙවීම ආරම්භ කලේ ඉගෙන ගන්න කාලේමයි. කැම්පස් ගියේ බූස්සේ කෑම්ප් එකේ ඉදන්. ඒ කාලේ  යුද බිමේ මිය ගිය දකුණු පලාතේ සෙබලුන්ගෙ  මල සිරුරු ගෙනාවේ ඒ කෑම්ප් එකට. සමහර දවස් වලටහිබුනු වැඩ ප්‍රමාණය කෑම්ප් එකේ හිටපු නිලධාරින්ට කරගන්න බැරි උන නිසා කැම්පස් යෑම පැත්තකින් තියලා බොඩීස් අරගෙන ගෙවල් වලට භාර දෙන්න ගියා. මේක තමයි ජීවිතේ කරපු අප්‍රසන්නම රාජකාරිය. දුප්පත් අම්මලා තාත්තලාගෙ, ආදරය කරපු මිනිස්සුන්ගෙ කදුලු හරි බරයි.

පලවෙනි වතාවට ක්‍රියාන්විතයකට සම්බන්ධ වුනෙ අවසාන විභාගෙ ඉවල කරලා වෛද්‍ය වරයෙක් වෙන්නත් ඉස්සර. විභාගෙ ඉවර වෙච්ච දවසට දවස් දෙකකට පස්සෙ කොටි යාලට, කතරගමට ගැහුවා. දකුනු පලාත් ආඥාපති බ්‍රිගේඩියර් ශ්‍රියාන් රනතුන්ගගෙ මෙහෙයවීමෙන් මෙහෙයුමක් පටන් ගත්තා. ඒ පලාතේ රාජකාරි වලට හිටියේ ඉතාම සීමිත පිරිසක් නිසා යුද, නාවික, ගුවන් හමුදා තුනේමයි සිවිල් ප්‍රදේශයක් නිසා පොලීසියෙනුයි සහභාගි වුනා. ගාල්ලේ නේවි කෑම්ප් එකෙන් බෝට්ටු වලින් යාලට ගොඩ බැස්සා. පොලිසියේ කට්ටියට බැක් පැක්ස් නොතිබුනු නිසා සමහරු ශොපින් බෑග් වල බඩු දාගෙන ගියේ. ඒ නිසා ඔපරේෂන් ශොපින් බෑග් කියලා නමකුත් පටබැන්දා මේකට. මේක නිසා යාල කැලේ බ්ලොක් ටූ එකේ පයින් ඇවිදින්නත් චාන්ස් එකක් ලැබුනා. ඔපරේෂන් එක අවසාන වුනේ එකම උන්ඩයක් වත් පත්තු නොකර. කොටි කලින්ම පැන ගිහින්. කොටි තිප්පොලවල් විනාශ කරන්නත්, පහරදීම් වලට සම්බන්ධ වුනු ගන්ජා සහ පොකිරිස්සන් ජාවාකරුවන් අත් අඩන්ගුවට ගැනුනා. සතියකින් විතර වැඩේ ඉවර වුනාට දම්සො පුතාට ආපහු එන්න ලැබුනේ නැහැ. යාල කතරගම ආරක්ෂාවට කුඩා කදවුරු පිහිටෙව්වා. දම්සො පුතාටත් සිතුල් පව්වෙ මූලික කදවුරේ ටික දවසක් ඉන්න අන ලැබුනා. සිතුල් පව්වේ පන්සලේ ලොකු හාමුදුරුවො ඇසුරු කරන්නත් අවස්ථාවක් උදා වුනා. කෑම්ප් එක භාරව හිටියෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ ලුතිතන් ඉන්දික ජයවීර.

මෙහෙම ඉන්න අතරෙදි තමයි අවසාන විභාගෙ ප්‍රතිඵල නිකුත් උනේ. ආරන්චි වුනේ නම නැහැ කියලා. සාමාන්‍යයෙන් නම නැහැ කියන්නේ සබ්ජෙක්ට් ඔක්කොම ඇණ. මේ පාර නම් බඩු තමයි. කෝකටත් රිපීට් එකට සෙට් වෙන්න හිත හදා ගෙන ආපහු ඇවිත් ෆැකල්ටියට ගිහින් බැලුවම තමයි හිත කූල් වුනේ. බැලින්නම් ලයිබ්‍රි පොතක් රිටර්න් නොකිරීමට රිසල්ට්ස් අත් හිටුවලා. රිසල්ට්ස් නිකුත් කරන්න කලින් පනිවිඩේ කියන්න නොන් ඇකඩමික් කට්ටිය ෆුල් ට්‍රයි කරලා. ඒ වුනාට දම්සො පුතා යාල කැලේනේ.

අවසාන විභාගෙත් කොහොමින් හරි ගොඩ දාගෙන ගිහින් රිපොර්ට් කරා කියමුකෝ. ජය සිකුරු එකේ හොඳම කාලේ. එකෙක් ආවත් රත්තරන් වටිනවා. ආපු දවසට පස්සෙන්දම දම්සො පුතා උඩ දාලා පයින් ගැහුවා. වැටුනේ ඕමන්තෙට. යුද බිමේ මුල්ම රැය ගෙවුනෙ ඕමන්තේ ඉස්කෝලෙ ලඟින් ඇතුලට යන පාරෙ අටවපු ටෙන්ට් එකක. මුලු සේනාන්කෙටම එකම දොස්තර. සහායට හෙදවරු , අනික් අය පහලොවක් විතර, ඇම්බියුලන්ස් එක තමයි නිල රථය. ඉන් පස්සෙ අවුරුදු ගානක් ජීවිතේ වැඩිපුර ගෙව්වෙ මේ පසුබිමේ.

ගියපු පලවෙනි දවසෙම තුවාල කාරයො එන්න පටන් ගත්තා. කොලඹින් එනකොට ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලදාරින් දීපු අවවාද හුඟාක් ප්‍රයෝජන වුනා වැඩේ අල්ලගන්න. සහයකයො ගැනනම් කියන්න වචන නැහැ. තුවාල කාරයො ගෙනාවහම මුලු සැරහුම් මඩ්‍යයස්ථානෙම කඩි ගුල වගේ. ඇම්බියුලන්ස් රියදුරා දවසට සිය සැරයක් හරි වවුනියාවට ඉගිලෙන්න ලැහැස්තියි. අපි යවන්නේ වවුනියාවට එතනින් තමයි අනුරාධපුරේට අමාරුම අය ඕමන්තෙන්ම චොපර් එකට. තුවාල කාරයොන්ට අමතරව සාමාන්‍ය ලෙඩ්ඩු දවසකට සීයක් විතර. මැලේරියාව දරුණුවටම. දම්සො පුතාට තුන් සැරයක් හැදිලා තියෙනවා. 

මෙහෙම සතියක් විතර ඉන්න කොට කොලඹින් නියෝගයක් ආවා ඕලුමඩු යන්න. හේතුව ඕලුමඩු වලට ගියපු චොපර් එකකට ගහලා බිම දාලා. ඒ එක්කම ගහපු ආටිලරි පාරකට එතන හිටපු කැප්ටන් සන්ජීව දොඩන්ගොඩගෙ සබ්බ සකලමනාවම ඉවරයි. හට් එක උඩටම ආටියක් වැටිලා. බන්කරේකට රින්ග ගත්ත නිසා ජීවිතේ බේරිලා තියෙන්නෙ. ඇඳන් හිටපු කලිසමයි ෂර්ට් එකයි විතරයි ඉතුරු. ඕලුමඩු කෑම්ප් එක මේන් ෆ්‍රන්ට් ලයින් එකෙන් හැතැප්ම විසි දෙකක් විතර උඩින් තිබුනු හුදකලා කදවුරක්. චොපර් එකට ගහපු නිසා යන්න පුලුවන් එකම ක්‍රමය ට්‍රැක්ටර් විතරයි. මඩ නිසා වෙන වාහන යන්න බැහැ. කෝප්‍රල් පෙරේරා එක්ක හවස තුනට විතර ඕලුමඩු යන්න ට්‍රැක්ටර් එකට ගොඩ වුනා. ටික දුරක් යනකොට ට්‍රේලර් එක ජොයින්ට් එකෙන් ගැලවිලා පෙරේතය පොලොවෙ ගැහුවා වගේ ඔක්කොම මඩේ. මඩ නාගෙන පයින් ඇද්දා හැතැප්ම දොලහක් විතර. ගිහින් පස්සෙන්දා උදෙන්ම සන්ජීවව කොලඹ පිටත් කලා යුනිෆොර්ම් එකක් එහෙම හොයලා දීලා. ඕලුමඩු එම් ඩී එස් එකත් ටෙන්ට් එකක තිබුනේ. ආරක්ෂාවට විශාල බන්කරයක් තිබුනා. නිදා ගත්තෙ ලී කෝටු වලින් හදපු මැස්සක.

ඕලුමඩු වලට ගිහින් දෙවෙනි දවසේ තමයි මුල්ම චෙස්ට් ටියුබ් එක දැම්මේ. ඒකෙන් කෙරෙන්නේ පෙනහැල්ල අතරට බැහැලා තියෙන ලේ ඉවත් කරන එක. එහෙම කලේ නැත්නම විනාඩි ගානක් තුල මිය යන්න පුලුවන්. ඒක තයි යුද බිමේ වෛද්‍ය වරු ඉන්න එකේ වැදගත් කම.දම්සො පුතා චෙස්ට් ටියුබ් එකක් දාලා ජීවිතේ බේරුන බ්‍රිගේඩියර් අතුල මාරසින්හ කියන විදියට දියේ ගිලිල මැරෙන්න යන දරුනු වේදනාවක්ලු ඇති වුනේ. සාමාන්‍යයෙන් මේව කරන්නේ ශල්‍ය වෛද්‍යවරු එහෙම නැත්නම් අත්දැකීම් තියෙන අය ශල්‍යාගාර වල. සති දෙකේ දොස්තර කැලේ මැද ටෙන්ට් එකක. කොහොම හරි වැඩේ ගොඩ දාගෙන කොල්ලගෙ පන බේරගත්තා. උද්ව්වට හිටිය නර්ස් සාජන් හෙට්ටිආරච්චිත් මතක් කල යුතුමයි.

ඕලුමඩු ජීවිතය හරිම කටුකයි. වැසිකිලි ගියේ පිකස් එක අරන් කැලේට. කෑම ආවේ ඉදලා හිටලා. ප්ලේන් වරින් එයාර් ඩ්‍රොප් කරොත් තමයි. සමහර ඒවා වැටෙන්නේ කොටින්ගෙ පැත්තට. හුඟක් දවසට පරිප්පුයි හාල්මැස්සොයි බතුයි. නාන්න පාප්පමොටෙයි හන්දියට යන්න ඕන නනා ඉන්න කොට ආටි ගැහැවුවොත් මඩ වලට පනින්න ඕන. කොල්ලො නිවාඩු යන්නෙ පයින් හැතැප්ම 22ක් පොම්පෙමඩු වලට ගිහින්. දම්සො පුතාට නම් ඒ ප්‍රශ්නෙ නිකම්ම විසදුනා. පාර්ට් එකක් දාපු ලොක්කගෙ ගෝලයෙකුට කුනුහරුපෙන් බැනලා පන්න ගත්ත වැරැද්දට මාස දෙකහමාරක් නිවාඩු නැතිව ඉන්න වුනු නිසා. හැබැයි මොරාල් එකෙ අඩුවක් තිබුනේ නැහැ. ආටි අස්සෙම චොපර් පෑඩ් එකේ ක්‍රිකට් ගැහුවා. කොල්ලොන්ගෙ ජාතික ක්‍රීඩාව පෝටර් ගැසීම ඉදලා හිටලා හොරෙන් ලක්ෂ ගාණක් වටින තේක්ක බන්කරේට වෙලා හීනියට අඩියක් ගැසීම (නිවාඩු ගිහින් එන එවුන් හොරෙන් මැදවච්චියෙන් පන්න ගත්තොත් තමයි ඒකත්) මේවා තමයි විනෝදාන්ශ.. ඕලුමඩු කෑම්ප් එකේ හිටපු අනදෙන නිලදාරි ලුතිතන් කර්නල් රුවන් කුලතුන්ග, එස් එෆ් එකේ මේජර් දම්මි හේවගේ, මේජර් මහින්ද රනසින්හ, මගේ බැච් මේට් කැප්ටන් පැරකුම්, මේජර් ලසන්ත පෙරේරා මතක් නොකොලොත් අඩුවක්. රෑ දවල් නැතිව තුවාල කාරයෝ ඒ මදිවට මැලේරියවයි හෙපටයිටිසුයි වැහි වැහැලා. තනි දොස්තර.

ඔන්න ඔය විදියට තමයි ණය ගෙවීමෙ ආරම්භෙ. අවුරුදු 19ක් 20ක් විතර කතාව යන නිසා මතකෙ හිටිය වැදගත් කොටස් විතරක් ඊළඟට ලියන්න බලමු. නයා පාරක් කියලා හිතුනු අය ඊළඟ කොටස් නොකියෙව්වට කිසිම තරහක් නැහැ. 


Saturday, 3 September 2016

වීසා අලකලන්චි

දම්සො පුතාට තරම් වීසා අලකලන්චි වෙච්ච එකෙක් මේ සක්වලේම ඉන්නවද සැකයි. ඒ විස්තර ලියන්න හිතුනේ තිලක සිතගේ බොම්බායි බෝඩිම -1 පොස්ට් එක කියෙව්වහම.

පලවෙනි කේස් එක තිලක සිතගේ කේස් එක කිට්ටුවෙන්ම යන එකක් වුනාට ඒ වගේ සුඛාන්තයක් නම් වුනේ නැහැ. දම්සො පුතාට අවුරුද්දකට චීනෙ යන්න චාන්ස් එකක් ආවා 2005 හේදී. සෙට් එකම යන්න තීරනය කරා. එතකොට කෙල්ලො දෙන්නා පොඩියි. ලොකු එකීට තුනයි. පොඩ්ඩිට එක හමාරයි. වීසා නිවාඩු ඔක්කොම සෙට් කර ගත්තට පස්සෙ පොඩි කොස්සක් ආවා. මස්සිනාගෙ වෙඩින් එක සැප්තැම්බර් 3. දම්සො පුතා අගෝස්තු 30 ෂැන්හයි ඉන්න ඕන කියලා මූලස්ථානෙන් දැනුම් දුන්නා. එකම මල්ලිගෙ වෙඩින් එක නිසා තුන් දෙනාට වෙඩින් එකෙන් පස්සෙ එන්න කියලා දම්සො පුතා නියම දිනේට යන්න තීරණය කලා. පොඩි දෙන්නත් එක්ක තනියම එන්න අමාරු නිසා රන්ජිත් මස්සිනාටත් කඩිමුඩියෙම වීසා ලැස්ති කරගත්තා.

චීනෙට ගිහින් සති දෙකකින් විතර දරු පවුල එන දිනයත් කිට්ටු උනා. බොහෝම උනන්දුවෙන් අඩුම කුඩුම ලැහැස්ති කලේ කට්ටිය පිලිගන්න. කොහොම හරි එන දිනෙත් උදා වුනා. රන්ජිත් මස්සිනාත් එක්ක කට්ටිය එයාර්පොර්ට් එකෙන් පිටත් වෙනවා කියලා කෝල් එක්කකුත් දුන්නා. තව පැය කීපයයි කට්ටිය ආයෙත් එකතු වෙන්න තියෙන්නේ. උදේට කට්ටිය ගන්න විශ්ව විද්‍යාලෙන් වාහනයකුත් ලැහැස්ති කරලා නින්දට ගියේ උදේට නැවත වතාවක් පවුල එකතු වෙනවා කියන සන්තොෂෙත් එක්ක.

රෑ දෙකට විතර රන්ජිත් මස්සිනා හොන්කොන් එයාර්පොර්ට් එකේ ඉදන් දීපු කෝල් එකෙන් තමයි තිස් තුන්දාහ වැදුනෙ. වීසා එකේ පොඩි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ නම විතරයි තියෙන්නෙ කියලා හොන්කොන් වලින් එන්න දෙන්නේ නැහැ කියලා තමයි අය්යගෙ කෝල් එක. චීන එම්බසියෙ තමයි බුල. චීන භාෂාවෙන් තිබුනු නිසා අපි දන්නෙත් නැහැ ලන්කාවේ ඉමිග්‍රේෂාන් එකෙනුත් හොන්කොන් වලට එවලා මාර තොප්පියයි.

ජීවිතේ ගත කරපු දිගම පැය කීපය ගෙවුනේ පස්සෙන්දට එලි වෙනකම්. අලුතෙන්ම අඳුනගත්ත කල්ලො ටික (නයිජීරියාවෙ මොහොමඩුයි, මැඩගස්කාරෙ නෝර්බටුයි, සිම්බාබ්වේ බායායි ) එලි වෙන කම් තනි රැක්කා. එලි වෙච්ච වෙලාවෙ ඉදන් ගැටේ ලිහා ගන්න දහ අතේ දැගලුවා. කැම්පස් එකේ කට්ටිය මාර්ගෙන් චීන බලධාරින්ටයි, බෙයිජින් වල ශ්‍රී ලන්කා එම්බසිය හරහායි නොකල දෙයක් නැහැ. ඒ අතර ලන්කාවෙත් ෆුල් ට්‍රයි එක. කට්ටියව එයාර්පොර්ට් එකේ හෝටලයකට දාලා අවුල ලිහාගන්නකම්. දවසම ගෙවුනා කිසිම ප්‍රතිඵලයක් නැතිව. පොඩි එවුන්ට හරි හමන් කෑමකුත් නැහැ. අන්තිමේදි තීරනය කලා කට්ටියව ආපහු ලන්කාවට යවන්න.

ලන්කාවට ගියායින් කථාව ඉවරම නැහැ. ටයි එකක් දාගෙන එහෙම ජැන්ඩියට ආපු රන්ජිත් මස්සිනා ආයි ගිහින් තියෙන්නෙ ඔෆිස් ඇරිච්ච වෙලාවට පිටකොටුව කොට්ටාව බස් එකේ ආවා වගේ. කොහොමින් හරි වෙච්ච වැඩේ දරා ගන්න නම් එච්චර ලේසි උනේ නැහැ. දම්සො පුතාත් ඇරියෙ නැහැ. මාස ගානකට පස්සෙ පොටක් පාදා ගත්තා. ප්ලේන් කොම්පනියට ලියුවා වෙච්ච කරදරේ කියලා. වැරද්ද විදියට පෙන්නලා දුන්නෙ වීසා නැතිව ලන්කාවෙන්ම නවත් වන්නෙ නැතිව අතරමගට එවීම. ඔන්න එක දවසක ප්ලේන් කොම්පැනියෙ ලොක්කෙක් කතා කරලා වැරද්ද පිලිගත්තා. නැවත වතාවක් ටිකට් දෙන්නත් පොරොන්දු උනා. දම්සො පුතාත් ඇරියෙ නැහැ. ගිය පාර වෙච්ච කරදර නිසා පොඩි දෙන්නත් එක්ක වයිෆ් තනියම ගෙන්නන්න බැහැ කිව්වා. මිනිහා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා. වැඩේ ගොඩ. ලන්කාවට ගිහින් කට්ටියව අරන් එන්න  ටිකට් එකක් දෙන්න මෑන් එකඟ උනා. ඒ පිහිටෙන් ශීත නිවාඩුවෙදි ලන්කාවට ගිහින් කට්ටියව එක්ක එන්න මටත් චාන්ස් එකක් ආවා. ලන්කාවට ගිය වෙලාවෙ චීන එම්බසිය පැත්තෙ ගිය වීසා ඔෆිස් එකේ හිටපු සින්හල ලොක්කට දෙකක් කතා කරලා එන්න. ගිහින් බැලින්නම් මාස දෙකකට කලින් ලොක්ක හාර්ට් ඇටෑක් එකකින් මැරිලා.

ඔන්න ඔහොමයි පලවෙනි වීසා අලකලන්චියෙ විස්තර. තිලක සිතගෙ කේස් එකට වඩා සෑහෙන කට්ටක් කන්න උනා.

දෙවෙනි කේස් එක 2010දි පශ්චාත් උපාධියෙ අන්තිම කෑල්ලට එන්ගලන්තෙ යන්න ගිහින්. පලවෙනි පාර සිය පවුලම එක්ක වීසා ඇප්ලයි කලා. තීරනේ ආවා වීසා රිජෙක්ට් කියලා. මේ ආකාරෙටම වීසා ඉල්ලපු හය දෙනෙකුට විතර වීසා ලැබුනා අවුරුද්ද ඇතුලත. දම්සො පුතාට විතරයි නැත්තෙ. පශ්චාත් උපාධි ආයතනෙන් තවත් ලියුන් කියුම් කිහිපයකුත් ලැහැස්ති කරගෙන දෙවෙනි වතාවටත් දැම්මා. ඒ පාරත් හුටස්. රාජකාරි කරන ආයතනෙන් දම්සො පුතාව යොමු කලා විදේශ අමත්‍යාන්ශෙට. ඒ හරහා ආපහු දැම්මා. තුන් වෙනි පාරත් බඩුම තමයි. වීසා නැකත ෆුල්ම අවුල්. විදේශ අමාත්‍යාන්ශෙ එවුන්ටත් මල පැනලා මේක  රාජ්‍යය තාන්ත්‍රික ඉෂූ එකක් කර ගත්ත. ඒ අයගෙ අදහස උනේ දම්සො පුතා 2009 ඉවර කරපු ගේමට සම්බන්ධ නිසා තමයි ප්‍රශ්නෙ කියලා. හැබැයි කෙලින්ම ඒ ගැන කතාවක් නැහැ. වෙන වෙන බොරු හේතු තමයි දුන්නෙ. කොහොම නමුත් මේක සිරා කේස් එකක් වේගෙන එන බව තේරුම් ගිය නිසා හිමීන් සීරුවෙ ඕස්ට්‍රේලියාවෙ පෝස්ට් එකක් හදා ගෙන තමයි වැඩේ ගොඩ දාගත්තේ.

ළඟදිත් ආයිත් තව කේස් එකක් උනා. ඒකත් කිව්වොත් නයා පාර දිග වැඩි වෙන නිසා ඒ ගැන නොකියා ඉදිමු. කොහොම නමුත් වීසා අලකලන්චි නම් ගොඩයි.  වීසා නැකත ෆුල්ම අවුල්.


Wednesday, 31 August 2016

ඉයන්ගෙ රැල්ල

පොඩි කාලේ ගැන ලිවිල්ල පැත්තක තියලා ඉයන්ගෙ රැල්ලට එකතු වෙන්න හිතුවා. සන්ගීතෙ අබමල් රේනුවක් වත් ඇඟේ නැති වුනාට සින්දු ඇහිල්ලට ප්‍රියයි.

1. මුල්ම එක දම්සො පුතාගෙ ජාතික ගීය. සින්දුවට ගැලපෙන පින්තූරයකට මුල් පද දෙක දාලා හදා ගත්ත පෝස්ටර් එකක් දම්සො පුතාගෙ හැම ඔෆිස් කාමරේකම එල්ලුවා. කොටින්ම දකුනු සුඩානෙත්. බෝර් වල ලොක්කගෙ කාමරේ තාමත් ඒ පෝස්ටරේ ඇති කියලා තමයි හිතන්නෙ. රැල්ලට වැටිලා යන්න හිතෙනකොට මේක අහුවම ආයෙත් ලයිෆ් එක ස්ලෝ කරගන්න පුලුවන්.



2. දෙවෙනි එකත් මුල් එක කිට්ටුවෙන්ම යන එකක්. කාලෙකින් සෙට් වෙන්න බැරි එකට අනවර්තයක් විදියට කාලෙකින් මෝහෙන් මුලා වෙලා කියන්න බැරි වුනා කියලා වජිර සර් රුයි කුවේර ලෝයරයයි කියන්නෙ ඒ නිසායි.



3. පට්ට සින්දුව. හරූන් ලන්ත්‍ර මහත්තයට සලකනවා මදියි.



4. අම්ම්ල ඉන්න සින්දු අහන හැම එකාම මේකට කැමතියි. ඉතින් මමත් කැමතියි.



5. අලුත් මියුසික් කාරයා වැඩ කාරයා. 


6. සින්දුවකට කැමති වෙන්න හේතුවක් ඕනම නැහැ


7. මේ සින්දුව මුලින්ම ඇහුවේ චන්නගෙ නැටුමක් එක්ක. හිතට අල්ලන්න නැටුමත් හේතු වෙන්න ඇති



8. අමරසිරි පීරිස් ටොප් ගායකයා


9. කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා කැමති ඇති. ඊට අමතරව මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කියන පද ටික මරු


10. දම්සො දෝනි ගැනත් ගැයෙන්න එපැයි. මේ වගේ එකෙක් එක්ක සෙට් වෙච්ච එකම මැදැයි.

11. නන්දා මාලිනියත් නැතුව කොහොමද



12. කේමදාස  මාස්ටර් වගේම ටී එම් සදාකාලිකයි


13. පාදක උන චිත්‍රපටියටත් කැමතියි



14. මේවට කැමති නැත්තන් මොන්ගල් වෙන්න ඕන.



15. මේකත් මුල් සින්දු දෙකට සමානයි


16. ළඟදි තමයි මේක ඇහුවෙ. අටම්ගෙ ලිස්ට් එකෙත් තිබුනා. ලයාන්විත මූසලකම


Saturday, 27 August 2016

හිච්චි පුතා

මොකක් හරි හේතුවකට පුතා කියලා ආමන්ත්‍රණය කරපු පවුලේ එකම එකා මම. පොඩි කාලේ පුතාට ඉස්සරහ කෑල්ල හි යන්නෙන් පටන් ගත්තට පසු කාලීනව ඉස්කෝලෙදි කැම්පස් එකේදි හමුදාවෙදි ඒක හු යන්නෙන් පටන් ගත්ත අවස්ථා එමටයි. අයිය නලින්, ලොකු අක්කා චම්පා. පොඩි අක්කා අවුරුදු 50ක් වෙලත් තාම බබා. සමහරුන්ට බබී. ඊලග අක්කා චන්දි. මල්ලි චූටි බබා. හය දෙනාට අමතරව තව එකෙක් උපන් ගෙයිම මලා යාන්තමින්  මතකයි. මට වඩා අවුරුදු තුනක් බාලයි. ඌ හිටියනම් හොඳ ජීවන සගයෙක් වෙන්න තිබුනා.

අපි ලොකු මහත් උනේ පටබැඳිමුල්ල කියන වෙරලබඩ ගමේ. සුන්දර වෙරළ රළු මුහුද ධීවරයො කුනුහරුප අපේ ජීවිත වලට හුගාක් සමීපයි. මුහුද මැද වෙරළට හැතැප්ම භාගයක් විතර දුරින් තිබුනු ගෙදවාන ගල හරිම සුන්දර ස්ථානයක්. වෙලාවකට ලිහිනියන්ගෙන් වැහිලා කිරිම කිරි සුදු පාටයි. ඹෝට්ටු වල නැගිලා රබර් ටියුබ් පැදගෙන ඒ ගලට යන්නෙ ලස්සන පරිසරය රසවිදින්න, මාස්ක් දාගෙන කිමිදිලා අතිශය සුන්දර කොරල් සහ වර්නවත් මාලු බලන්න වගේම ගල පුරා තිබුනු බෙල්ලෝ තම්බගෙන කන්නත් එක්කයි.

ඉලක්කම් හයක පඩියක් අරගෙනත් අග හිගකම් දැනෙන නිසා අම්මයි තාත්තයි අපිව ලොකු මහත් කලේ අමාරුවෙන් කියලා දැන් දැනුනට අපි දුප්පත් කියලා පොඩි කාලේ දැනුනෙ නැත්තෙ අපිට වඩා හුගාක් දුප්පත් මිනිස්සු අතර ජීවත් උන නිසා වෙන්න ඇති. පරම්පරාගත ප්‍රභූ වරු කීප දෙනෙක් ඇරෙන්න දැන් වගෙ බල්ලො මරලා හරි සල්ලි කාරයො වෙච්ච අය හිටියෙ නැති වීමත් එක හේතුවක් වෙන්න ඇති. සල්ලි පස්සෙ දුවන්නෙ නැතිව ලැබිලා තියෙන දේ හොඳයි කියලා හිතාගෙන සන්තෝශ වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ අග හිගකම් මැද ජීවිතේ පටන් ගත්ත නිසා කියලයි දම්සො පුතා හිතන්නේ.

අග හිගකම් වලට අමතරව අවුරුදු තුනක් වැඩිමල් නැන්දගෙ පුතෙක් හිටිය කරුමෙ නිසා දම්සො පුතාට අලුත් කමිසයක් කලිසමක් අදින්න ලැබුනෙ අවුරුද්දට විතරයි. ඌට මදි උන ඒව තමයි හැමදාම උරුම උනේ. ඌ දැන් එන්ගලන්තෙ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වරයෙක් නිසා උගෙ ඒවා ඇදීම පිලිබඳ ආඩම්බරයක් නැතිවාම නොවෙයි.

ආණ්ඩු වලින් කිව්වොත් දම්සො පුතා ඉපදුනේ ඩඩ්ලි මහත්තයගෙ අන්තිම කාලේ. ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මැතිනිගෙ අන්තිම කාලේ. ඕ ලෙවෙල් කලේ ජේ ආර් මහත්තයගෙගෙ අන්තිම කාලේ. ඒ ලෙවල් කලේ රතු සහෝදර වරුන්ගෙ කාලේ. රස්සාවට සහ විශ්ව විද්‍යාලෙට (දෙකම එක පාරට ලැබෙන්නෙ කලාතුරකින්) ප්‍රේමදාස මහත්තයගෙ අන්තිම කාලේ. තාත්තා කෙනෙක් උනේ චන්ද්‍රිකා නෝනගෙ අන්තිම කාලේ. විශේෂඥ උපාධිය ගත්තෙ මහින්ද මහත්තයගෙ අන්තිම කාලේ. බ්ලොග් ලියන්න පටන් ගත්තෙ සිරිසේන මහත්තයගෙ කාලේ.

මැතිනිගෙ කාලේ ආච්චි එක්ක සතොසෙ කරවල පෝලිමේ හිටිය පරම්පරාවෙ එකෙක් වීම දම්සො පුතාට ආඩම්බරයක්. ඊට අමතරව තව පෝලිමක ඉන්න උනේ එම් ඕ එච් කන්තෝරුව ලඟ හිටපු නිසා. අම්බලන්ගොඩ ඥාති සනුහරේම බඩ දරු අම්මලාට ක්ලිනික් නොම්බර ගන්න.

පොඩි කාලේ හිටපු හොඳම යාලුවා තමයි රන්ජි නොහොත් චමින්ද විජේපාල. දැන් ඔහු ඉතිරිකිරීමේ බැන්කුවේ මැනේජර් මහත්තයෙක්. අල්ලපු ගෙදර හිටිය නිසා  යාලු කම් වැඩි උනා. ඇස් පෙනීම හොඳටම අඩුයි. කොච්චර අඩුද කියනවනම් ඉන්ජිනේරු පීඨෙට තේරුනාට ඇස් පෙනීම අඩු නිසා විද්‍යා පීඨෙට උනා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආනන්දෙට ගියත් නිවාඩු කාලේ යාලු කම පවත්වාගෙන ගියා. අනිත් යාලුව හරිසිරිත්. නියම නම හර්ෂජිත් උනාට එයාගෙ ආච්චි කියන විදියටම හරිසිරිත් උනා. අජිත්,ලලිත්, ශාන්ත ඇතුළු තව රාශියක් හිටියා. ලොකුම වැඩේ ක්‍රිකට් තමයි. අදටත් ජීවිතේ ප්‍රධාන කොටසක් වෙන ක්‍රිකට් වලටඇබ්බැහි උනේ තාත්තා නිසා. දැන් වගෙ ටීවී නැති නිසා අමාරුවෙන් ශෝර්ට් වේව් එකේ කොමෙන්ට්‍රි අහන තරන් උනක් තාත්තටත් ක්‍රිකට් වලට තිබුනා. මල රෑ රේඩියෝ එකේ අසූ තුනේ ඉන්දියවයි වෙස්ට් ඉන්ඩීසුයි වර්ල්ඩ් කප් ෆයිනල් එක ඇහුවා මතකයි.

ටින් හත කැඩීම, හැන්ගිමුත්තන්, රවුන්ඩර්ස් අනිකුත් ක්‍රීඩා. ඊට අමතරව ගෑනු පිරිමි මල් පලතුරු, ගාලු පාරේ වාහන ගනන් කිරීම එකතැන ඉඳගෙන කරන ක්‍රීඩා.

දම්සො පුතාගෙ නොහොත් හිච්චි පුතාගෙ පොඩි කාලේ ගෙවුනෙ ඔන්න ඔය විදියට තමයි. තව බොහෝ දේ මතකෙට එන විදියට ඉස්සරහට ලියමු.