Sunday 9 October 2016

මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීම

දොස්තරවරුන්ගේ පීපී ගැන මේ දිනවල ලියවෙන නිසා මගේ පීපී අත්දැකීමත් ලියන්න හිතුනා.

පීපී ගැන කියනවනම් සමාජගත වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මුදල් හොයන දොස්තරලා ඉන්නෙ මුලු දොස්තර සන්ඛ්‍යාවෙන් අතලොස්සයි. නීතිඥ, භෞත චිකිත්සක, රසායනාගාර ශිල්පි, එක්ස් රේ ශිල්පි, ඉන්ජිනේරු ආදී තවත් වෘත්තීන් රාශියක දොස්තරලා මෙන්ම රාජකාරි වෙලාවෙන් පසුව මුදල් උපයන කොටසක් හිටියත් ඒ අය ගැන වැඩි කතාබහක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ දොස්තර සන්ගමය වගේ නගරන් පෙන්නන්නෙ නැති නිසා වෙන්න ඇති. කාන්තා දොස්තරලගෙන් පීපී කරන්නෙ අතලොස්සයි.

ලන්කාවෙ පීපී වර්ග කිහිපයක් තියෙනවා. පලමු එක තමන්ගේම පීපී එකක් පවත්වා ගෙන යාම. මේ ජාතියෙ ඒවා තමයි වැඩිපුර තියෙන්නෙ. මේවාගෙ තනි අයිතිකාරයන් වගේම දෙන්නෙක් හෝ ඊට වැඩි ගාණක් එකතු වෙලා කරන ඒවත් තියෙනවා. සැමියා සහ බිරිඳ එකතු වෙලා කරන ඒවත් බහුලව තියෙනවා. දෙවන වර්ගය තමයි ලෝකම්. ලෝකම් කියන්නේ අනුන්ගෙ තැන් වල වැඩ කිරීම. මේක සමහර විට වෙනත් කෙනෙකුගෙ පීපී එකක්. බොහෝ විට අලුත් අය තමයි මේ වගේ ලෝකම් කරන්නෙ. අනිත් ලෝකම් තමයි ප්‍රයිවෙට් හොස්පිටල් වල වැඩ කිරීම. දම්සො පුතා මේ සියලු ආකාරයේ පීපී කරලා තියෙනවා.

මුලින්ම කරේ අනුන්ගෙ තැන් වල ලෝකම් කරන එක. සොච්චම් මුදලක් ලැබුනා දවසෙ පෙට්‍රල් ගාන කවර් වෙන තරම්. ඊට පස්සෙ සෑහෙන කාලයක් හොස්පිටල් එකක ලෝකම් කලා. ඉමර්ජන්සි එකේ රෑ වැඩ. තනිකඩ කාලේ. වාසි කීපයක් තිබුනා. එකක් අමතර මුදලක් හම්බ වෙන එක. දෙක රෑට කෑම ලැබීම. තුන් වෙනි වාසිය තමයි වැදගත්ම. සියලු ආකාරයේ විශේෂඥ වෛද්‍යවරු යටතේ වැඩ කරන්න ලැබෙන නිසා දැනුම අලුත් වීම. ඈත පලාත් වලින් ලෙඩ්ඩු ගේන්න යන්නත් උනා.

අන්තිමේදි ගෙදරම එකක් අටවගෙන අවුරුදු කීපයක් කලා. හවස හයේ ඉදන් අට වෙනකම්. සෙනසුරාදාට වහනවා. ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ටිකයි. නමුත් හිතට හොඳයි. සෑහෙන ආදායමකුත් ලැබුනා. ලෙඩ්ඩු අඩුවීමට හේතුව වැඩි කල එලියක් නැතිවීමත් නර්ස් කෙනෙක් නැතිව දොස්තරම බෙහෙත් දීමත් වෙන්න පුලුවන්. පෞද්ගලික අත්දැකීම අනුව සල්ලි කාරයොයි දුප්පත් අයයි ඒ වගෙ තැන් වලට එනවා අඩුයි. මධ්‍යම පන්තියේ රජයේ සේවකයො තමයි වැඩිය ආවෙ. වැඩි මුදලක් ගන්නෙ නැති එකත් හේතුවක්. ගාන සැර නම් තමයි හිතට සනීප. ටෙස්ට් කිරීම අඩු වීම, බෙහෙත් අනවශ්‍යයි කියල හිතුන විට බෙහෙත් නැතිව හරවා යැවීම අනිත් කාරණා. 

කොහොම උනත් ටික කාලෙකින් අතින් කාලා හරක් බැලිල්ල නතර කරලා ලැබෙන පඩියෙන් පුලුවන් විදියට ජීවත් වෙන්න තීරණය කලා. මග තොටේදී ආපහු වැඩේ පටන් ගන්න කියලා ඉල්ලීම් එනවා. වැඩ අඩු කාලෙක ආයිත් පටන් ගන්න කියලා තමයි හිතන් ඉන්නෙ.

පීපී කිරීමෙදි අනුගමනය කරපු දේවල් කීපෙකුත් තිබුනා. තෝරගත් පිරිසකට නොමිලේ බෙහෙත් දීම, බෙහෙත් නොකරපු කිසි කෙනෙකුට වෛද්‍ය සහතික නොදීම, ප්‍රෙෂර් බැලීමට සහ රෙපොර්ට් බැලීමට මුදල් අය නොකිරීම වගේ. අනිත් වැදගත්ම දේ තමයි ඇන්ටි බයොටික්ස් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ පාවිච්චියෙදි සැලකිලිමත්වීම. 

දොස්තරලා බහුතරයක් මේ තරම්ම බැනුම් ඇහිය යුතු අය කියලා මමනම් හිතන්නෙ නැහැ. සන්ගමයේ වැරදි ඇති. නමුත් දොස්තරලා බහුතරයක් කැපවීමෙන් විශාල සේවයක් කරන අය. තමන් එක්ක එකට ඉගෙන ගෙන අනිත් ක්ෂේත්‍ර වලට ගිය අය එක්ක සන්සන්දනය කරන කොට දොස්තරලා ලැබෙන පඩියට වඩා සෑහෙන සේවයක් කරනවා. 

දොස්තරලගෙ පීපී වලට දිගින් දිගටම බැන ගෙන බැනගෙන යනකොට හිතුනෙ රටේ ඉන්න බරපතල අපරාධකාරයන්ගෙ කුලකෙට තමයි මමත් අයිති වෙන්නෙ කියලා. හොරකම් නොකර දන්න සාස්තරෙන් කීයක් හරි හොයාගන්න එක මහ ලොකු වරදක්ද, දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. 

දේශපාලකයින් හා දොස්තරලා තෝරා ගැනීමෙදි ජනතාව අතින් වෙන වැරදි නිසා ඇතිවෙච්ච සන්ස්කෘතිය එක සමානයි කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුම කාර් එක තියෙන ලොකුම ගේ තියෙන හුඟාක් සල්ලි තියෙන කෙනා තමයි හොඳම කෙනා කියලා මේ තෝරගැනීම් දෙකේදිම. ඉතින් මේ දෙගොල්ලොත් ජනතාවගෙ තෝරා ගැනීම වෙන්න දිවා රෑ නොබලා වැඩ කරනවා. එහෙම කරද්දි වැරදි වෙන එක වලක්වන්න බැහැ. මේක විෂම චක්‍රයක්. ඉතින් වැරදි ජනතාවද මේ දෙගොල්ලොද, තුන් ගොල්ලොමද කියලා හිතන්න වෙනවා.

දොස්තරලා සුලු පිරිසක් කරන වැරදි වැඩ ගැන ඇති වෙන්න බ්ලොග් ලිය විලා තියෙන නිසා නැවත ලිවීමේ තේරුමක් නැහැ. එහෙම අය ප්‍රතික්ෂේප කිරීම තමයි වෙන්න ඕන. නමුත් එහෙම අය ලඟට තමයි වැඩිපුර සෙනඟ යන්නෙ. එතකොට කාගෙද වැරැද්ද. වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කිරීමක් නැති කම කියලයි හිතන්නෙ.

19 comments:

  1. දම්සො කියන කතාව හරි..අර කතාවක් තියෙනවනෙ තැලෙන යකඩෙට උඩ පැන පැන තලනව වගේ...දැන් දොස්තරලට උඩ පැන පැන තලනව..සමස්ථ වෛද්‍ය වර්ගයාම වැරදියි කියා කියන්නා වගේ.කුලී කාරයාගෙ ඉඳන් මේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන පුද්ගලයා දක්වාම මොකක් හරි පරහක් තියෙනවා..මිනිස්සු සර්ව සම්පූර්ණ නැහැ. අනිත් එක එවන් මිනිස්සු අර බලු නගුට උණ පුරුකේ දැම්මත් කෙලින් වෙන්නෙ නෑ වගේ හදන්න බෑ....ඒක මටත් අන් අයටත් පොදුයි කියලයි මටනම් හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කොයි දේත් හොඳ දේ තෝරා ගැනීමයි වැදගත්

      Delete
  2. //ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ටිකයි. නමුත් හිතට හොඳයි. සෑහෙන ආදායමකුත් ලැබුනා. ලෙඩ්ඩු අඩුවීමට හේතුව වැඩි කල එලියක් නැතිවීමත් නර්ස් කෙනෙක් නැතිව දොස්තරම බෙහෙත් දීමත් වෙන්න පුලුවන්. පෞද්ගලික අත්දැකීම අනුව සල්ලි කාරයොයි දුප්පත් අයයි ඒ වගෙ තැන් වලට එනවා අඩුයි. මධ්‍යම පන්තියේ රජයේ සේවකයො තමයි වැඩිය ආවෙ. වැඩි මුදලක් ගන්නෙ නැති එකත් හේතුවක්. ගාන සැර නම් තමයි හිතට සනීප. ටෙස්ට් කිරීම අඩු වීම, බෙහෙත් අනවශ්‍යයි කියල හිතුන විට බෙහෙත් නැතිව හරවා යැවීම අනිත් කාරණා. //

    මෙහෙම තැන්වලින් තමයි නියම සේවාවක් වෙන්නෙ ; මමත් යන්නෙ එහෙම තැනකට

    ReplyDelete
    Replies
    1. සන්තෝෂයි. දේශපාලකයෝ තෝරද්දී කොහොමද දන්නෑ

      Delete
    2. විෂම චක්‍රය

      Delete
  3. //වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කිරීමක් නැති කම කියලයි හිතන්නෙ.//

    මේ රටේ කිසිම දෙයක් ගැන අහිංසක මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නෑනෙ. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා සූරාකෑමට ලක්වෙනව නිතැතින්ම.

    //මේක විෂම චක්‍රයක්.// +++++++
    මේ විෂම චක්‍රය නිසාම තමයි දැනුවත්කල යුතු දේවල් නොසලකා හැරල නොදැනුවත් මහජනයාව පිරිසකට හූරාකන්ඩ ඉඩ දීල තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ හරි දේ වැරදි විදිහටත්, හරි කෙනා වැරදිකාරය විදිහටත් පෙනෙන්න වටපිටාවක් සකස්වෙන එක.

    ReplyDelete
    Replies
    1. තම තමන්ට පුලුවන් තරමින් කරන්න බලමු. කාලයක් යනකොට හරි යයි.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. මේක කියවනකොට අපි පොඩිම කාලේ මතක් වුනා. අපේ ෆැමිලි දොස්තර වෙලා හිටියේ දෙමළ දොස්තර මහත්තයෙක්. එයා වැඩ කලේ ග්‍රාමිය රෝහලේ. හැබැයි මොන හේතුවක් හින්දා හරි අපේ අම්මලා අපිව ඉස්පිරිතාලෙ ඕ පී ඩී එකෙන් බෙහෙත් ගන්න එක්කන් ගියෙ නෑ. අපි ගියේ ඒ රෝහලේම නිළනිවසක හිටපු මේ කියන දොස්තර මහත්තයාගේ ගෙදරට. රෑ කීයට ගියත් දොස්තර මහත්තයා ඕනෙම ලෙඩෙක් බාරගත්තා. හරි ම හොඳයි. පටන් ගන්නෙම අපිට ටොපියක් වගේ දෙයක් දීලා ඒක හින්දා පොඩි කාලේ වුනත් ඕනේ තිත්ත බෙහෙතක් බොන්න ඉන්ජෙක්ශන් එකක් ගහන්න ලේ ගන්න වගේ ඒවට බලෙන් නැතිව ඒ දොස්තර මහත්තයාට පුළුවන්කමක් තිබුනා. කොටින්ම අම්ම දීපු එක බෙහෙත් පෙත්තක්වත් කටෙන් පල්ලැහැට නොගියට මේ දොස්තරට ඒ වගේ අභූත බලවේගයක් තිබුනා. කොටින්ම ඔහු අපේම කෙනෙක්.
    ඊට පස්සේ මම හිතන්නේ අපිට ඔහුව හම්බ වුනේ නෑ. අපි හිතවත් දොස්තර වරුන්ගෙන් බෙහෙත් ගන්න කාලේ ආවා. මේ කියන අන්තිම සිදුවීමත් මීට අවුරුදු තිහක් වගේ කාලේ එහා. ඒවයේ ඔය කියන තරහවක් අපිට තිබුනේ නෑ. කොටින්ම දොස්තරට සල්ලි දීලා බෙහෙත් ගන්න එක අවුලක් කියලා දැනුනෙත් නෑ.
    ඒත් අන්තිම කාලේ අහම්බෙන් ලංකාවට ආව වෙලාවක ලෙඩ වෙලා ඔය කියන ගෙවන රෝහලක දොස්තර කෙනෙක්ව චැනල් කලා. එවෙලේ මට හිතුනා අපේ මිනිස්සු කොයි තරම් පවුද කියලා. අර අපි දන්න සමාජ සේවක දොස්තර වරුන් දැණ් නෑ. දැණ් ඉන්නේ සල්ලි හොයන්න බල්ලෝ වුනත් මරණ මිනිස්සු. ඉතින් එහෙම කාලෙක ඕනෙම දොස්තර කෙනෙක් අපහසුතාවයට පත්වෙන එක සාදාරණයි. එක්කෙනෙක් හොර නොකලා කියලා බහුතරයක් එහෙම කරනකොට බනින එක අහන්න දෙයක් නෙමෙයිනේ.
    දම්සෝ පුතා එහෙම නොවෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒත් මනුස්සකම නැතිව දොස්තර කෙනෙක් වීම කියන්නේ නම් විහිළුවක්. සල්ලි වලට එහා ගිය සේවයක් ඒකෙන් කරන්න පුළුවන්. ඒකයි වෙන්නත් ඕනෙ.

    ReplyDelete
  5. රට ඉඳන් ඇවිත් එක දොස්තර කෙනෙක් ලඟට ගිහින් බහුතරය සල්ලි හොයන්න බල්ලො උනත් මරණ මිනිස්සු කියන එක සාධාරණ නැහැ නේද? රජයේ රෝහල් වල දවසට ලෙඩ්ඩු සිය ගනන් බලන්නෙ ඔය කියන මිනිස්සුම තමයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම කිව්වේ මම දැකපු සිදුවීම් වලට අනුව හා අහලා තියෙන දේවල් වලට අනුව.
      හොඳ දොස්තර වරුන් නෑ කියලා කියන්නෙ නෑ. එහෙම අය ඉන්නවා. ( මෙහෙම කියන්නේ මගෙ පවුලෙත් ඔය රස්සාවම ලංකාවෙම කරන අය ඉන්දෙදි )
      කොටින්ම ලංකාවේ තියෙන්නේ දොස්තරලට දේවත්වයෙන් සලකන සමාජ රටාවක්. සමාජයේ ඉහලින් කැපී පෙනෙන කොටසක්. ඒක හින්දම මෙහෙම වුනා වෙන්නත් පුළුවන්. පී පී කරන තැනක ගිහින් බලනකොට තේරෙන දේ තමයි සල්ලි නැථ්නම් දොස්තරගේ මනුස්සකමත් නෑ කියන එක.
      එහෙම නොවෙන දොස්තරලා ඉන්නවා. මේ බ්ලොග් ලියන දොස්තර නෝනලා කිහිප දෙනෙකුත් මම දන්නවා පර්සනලි එහෙම නොවෙන. පී පී කරන එක එක්ට්‍රා බක්ස් ටිකකට කමක් නෑ කියමුකෝ. ඒත් ඔබ තුමා දැකලාම නැද්දාලි ඔළුවෙන් අහිංසක මිනිසුන්ට බල්ලොන්ට වගේ සලකන මිනිස්සු. ( මට එහෙම නොසැලකුවා කියන එකයි තව අයට එහෙම සලකනවා දැකලායි මට මේ කළකිරීම ඇථි වුනේ. මම බෙහෙත් නොගත්තට පෞද්ගලිකව අපිට ඔය තැන් වලට යන්න වෙනවානේ. (අනික අපේ ඉන්න යාළුවෝ නෑයෝ දොස්තරලා රහත් වෙලත් නෑ නේ.) මම පී පී කරනවට විරුද්ධ නෑ. ඒත් යම් සමාජ සේවයක් විදියට ඒක වෙනවා නම් හොඳයි. (මගේ රස්සාවෙත් මම ප්‍රිවට් ප්‍රැක්ටිස් කරනවා ඒත් බල්ලෝ මරලා වගේ සල්ලි හොයනවට විරුද්දයී
      sorry if i hurt u

      Delete
  6. දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. //// වෙලා තියනවා . දොස්තරලාගෙ පීපී නිසා ඕපීඩී එකේ ධාරිතාව 40 % විතර අඩු වෙලා තියනවා. පීපී තහනම් කලොත් ඕපීඩී එක පැය 24 ඇරලා තියන්න වෙයි

    ReplyDelete
  7. මේ පැත්තෙනං නර්ස්ල ලවුව බෙහෙත් දෙන තැන් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. නර්ස්ල කිව්වට හරි පුහුණුවක් ඇති අය නෙවෙයි

      Delete
  8. ඉල්ලුමේ තරමට සපයන්න ගියාම බොහොමයක් දේවල් වැරදි පාරේ යනවා. දොස්තරලා කරන්නේ පාන් හදනවා වගේ වැඩක් නම් ඒතරම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. තව අවන් දෙක තුනක් ගන්න එකනේ කරන්න තියෙන්නේ. ඒත් ලෙඩ්ඩු වැඩිවුනාම සල්ලි වැඩිවුනත්, කාලය වැඩිවෙන්නේ නැති බව දොස්තර මුදලාලිලා හිතන්නේ නැහැ. දම්සෝ වගේ හිතන අය ගැන ආඩම්බරයි. ඒහෙම හිතන අය ඉන්නේ පිටරටවල නිසා අපිට අපි ගැන දුකයි. මේ සියල්ලක්ම මුදල්....මුදල්...සහ මුදල්.

    ReplyDelete
  9. බදුල්ලේ ඉන්නවා මරු දොස්තර මහත්තයෙක්. සමහර ලෙඩ වලට දෙන්නෙ සිරප් එකක් විතරයි. සමහර ඒවාට උපදෙස් විතරයි. බොහොම වෙලාවට බෙහෙත් ජාති දෙකයි. ගාස්තුව රුපියල් එකසිය පනහක් හෝ දෙසීයක්. හුඟක් පිරිමි අය විතරයි බෙහෙත් ගන්න යන්නෙ. අම්මලාට ඒ දෙන බෙහෙත් ප්‍රමාණය මදි.

    පීපී කරනවනං මේකයි ක්‍රමේ. බෙහෙත් ජාති හතරක් විතරයි, බොන්න බෙහෙත් පැනියකුයි දීලා තව පාමසියෙං ගන්න තුණ්ඩුවකුත් ලියලා දීලා ලේ පරික්ෂණයකටත් කොලයක් දෙන්න ඕනෑ. රුපියල් හාරසීයට අඩු ගනං එහෙම කියලා ලෙඩාගෙ හිත නරක් කරනව එහෙම නෙවෙයි.

    ReplyDelete